ජාතික සුපිළිපන් සතිය ඇරඹෙයි
"සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්" යන තේමාව යටතේ ප්‍රකාශයට පත් කර ඇති ජාතික සුපිළිපන් සතිය අද (27) සිට ජූලි 31 දක්වා දිවයින පුරා ක්‍රියාත්මක කෙරේ.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික කුමානායක මහතාගේ අත්සනින් යුතු චක්‍රලේඛයක් මගින් ප්‍රකාශයට පත් කර ඇති මෙම වැඩසටහන ජනාධිපති ලේකම් කාර්යාලය සහ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ඒකාබද්ධව සංවිධානය කරයි.
ජාතික සුපිළිපන් සතිය අද පෙරවරු 9.00ට ජනාධිපති ලේකම් කාර්යාලය ප්රමුඛ සියලු රාජ්‍ය ආයතනවල "ජාතික සුපිළිපන් දිවුරුම" ලබාදීම සහ "ආචාර ධර්ම සංග්‍රහය" ප්‍රකාශයට පත් කිරීමෙන් ආරම්භ විය.
මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ රාජ්‍ය සේවයේ ගුණාත්මකභාවය, කාර්යක්ෂමතාව සහ පාරදෘශ්‍යභාවය ඉහළ නංවමින් දූෂණයෙන් තොර, ආදර්ශවත් පරිපාලන සංස්කෘතියක් ගොඩනැඟීමයි.
මෙහිදී "සුපිළිපන්භාවය" (Integrity) යන්නෙන් අදහස් කරන්නේ ස්වයං විනය, ස්වයං පාලනය සහ ස්වයං අධීක්ෂණය මත පදනම්ව හෘද සාක්ෂියට එකඟව, විනිවිදභාවයෙන් සහ සදාචාරාත්මකව රාජකාරි ඉටු කිරීම බව සඳහන් කර ඇත.
ජාතික සුපිළිපන් සතියේ දින පහ සඳහා වෙන වෙනම තේමා හඳුන්වා දී ඇති අතර, ජූලි 27 වන දින ආයතනික සුපිළිපන්භාවය ප්‍රවර්ධනය කිරීම, ජූලි 28 වන දින මූල්‍ය, ඩිජිටල්, ව්‍යවසායකත්ව හා තාක්ෂණික සුපිළිපන්භාවය ප්‍රවර්ධනය කිරීම, ජූලි 29 වන දින ආධ්‍යාත්මික, ආචාරධර්මීය, සංස්කෘතික හා සමාජීය සුපිළිපන්භාවය ප්‍රවර්ධනය කිරීම, ජූලි 30 වන දින මෙහෙයුම්, යටිතල පහසුකම්, සේවා සැපයීමේ සහ ශ්‍රම සුපිළිපන්භාවය ප්‍රවර්ධනය කිරීම සහ ජූලි 31 වන දින පාරිසරික, සම්පත් කළමනාකරණ, ග්‍රාමීය සහ ප්‍රජා සවිබලගැන්වීමේ සුපිළිපන්භාවය ප්‍රවර්ධනය කිරීම සඳහා වෙන් කර තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලයේ මෙහෙයවීම යටතේ සෑම රාජ්‍ය ආයතනයකම ස්ථාපිත කර ඇති "අභ්‍යන්තර කටයුතු ඒකක" මඟින් මහජනතාවට සිදුවන අපහසුතා සහ දූෂණ ක්‍රියා පිළිබඳ පැමිණිලි භාරගනු ලැබේ. QR කේත, විද්‍යුත් තැපෑල, ලිපි, දුරකථන ඇමතුම් හෝ වෙබ් පණිවිඩ ඔස්සේ පැමිණිලි ඉදිරිපත් කළ හැකි අතර, ඒවා සම්බන්ධයෙන් ආයතන ප්‍රධානීන් ගන්නා ක්‍රියාමාර්ග නිරීක්ෂණය කිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය මඟින් විශේෂ ඩිජිටල් පද්ධතියක් ද ක්‍රියාත්මක කෙරේ.
ජූලි 31 වැනිදායින් පසු ද මෙම වැඩසටහන දෙසැම්බර් 31 දක්වා සියලු රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතනවල අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලය සඳහන් කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
