ඉදිරිපත් කර තිබෙන ජාතික සභාව පිහිටුවීමේ යෝජනාව වර්ථමාන ආණ්ඩුවට එල්ල වී තිබෙන තර්ජනයන් සහ අභියෝගයන් ජාත්‍යන්තර හමුවේ සහ ජාතික වශයෙන් සමනය කර ගැනීම සඳහා අටවන ලද ඇටවිල්ලක් පමණක් බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ජාතික සභාව ස්ථාපිත කිරීම සඳහා වූ යෝජනා සම්මතය පිළිබඳ අද (20දා) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා,
විපක්ෂය ඇතුලේ සාකච්ඡා වෙමින් තිබුණේ ජාතික සභාව ප්‍රධාන කරැණු ගණනාවකින් සමන්විත වෙලා තිබුණා. එකක් ගොඩ නැගෙන්නේ අන්තර් කාලීන ආණ්ඩුවක්. පටන් ගැන්මක් තිබෙනවා ඊට අවසන් කාලයක් නියමිතව තිබෙනවා. ඒත් දැන් මේ ජාතික සභාව යෝජනා කරනකොට අන්තර් කාලීන ආණ්ඩුවක් හැදිලා නෑ. දෙවැනි එක තමයි එම අන්තර් කාලීන ආණ්ඩුවේ ජාතික සභාව නියෝජනය කරන දේශපාලන පක්ෂ වලින් සමන්විත නායකයන්ගේ යෝජනා අනුව තමයි එහි මූලික තනතුරැ ලෙස අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලය, කැබිනට් මණ්ඩලයට අවශ්‍ය විශය පතයන් පත් කරන්නේ. ඒත් දැන් මේ සියල්ල කරලා ඉවරයි.
අගමැතිවරයෙක් පත් කරලා තිබෙනවා. කැබිනට් මණ්ඩලයක් පත් කරලා තිබෙනවා. කැබිනට් මණ්ඩලයට අමතරව රාජ්‍ය ඇමතිවරැන් 38ක් පත් කරලා තිබෙනවා. එළැඹෙන සතියේ තය අමාත්‍යවරැන් කැබිනට් මණ්ඩලයට පත් කිරීමට නියමිතව තිබෙනවා. මොකක්ද වෙලා තිබෙන්නේ? ජාතික සභාවේ මූලික හරය මේ යෝජනාව තුල ගැබ්වී නෑ. දැන් වෙලා තිබෙන්නේ තමන්ට එල්ල වී තිබෙන තර්ජනයන්, අභියෝගයන් ජාත්‍යන්තර හමුවේ සහ ජාතික වශයෙන් සමනය කර ගැනීම සඳහා අටවන ඇටවිල්ලක් විතරයි. ඒ නිසා මේක ඵල විරහිත යෝජනාවක්, යනුවෙන් සඳහන් කළේය.