ජාතික රෝහලේදී නොසැළකිලිමත්කම නිසා ඔක්සිජන් වෙනුවට කාබන්ඩයොක්සයිඩ් ලබාදීම හේතුවෙන් රෝගියකු මියගිය බවට වූ හෙළිදරව්ව පිළිබද කරුණු සොයා බැලීමට ඊයේ (01දා) සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කොළඹ ජාතික රෝහලේ නිරික්ෂණයක නිරත විය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ද එක්විය.
ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය කුමාර් වික්‍රමසිංහ මහතා සමග පළමුව ඉහත සිදුවීම පිළිබද කරුණු විමසු සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුලු නිලධාරින් පසුව අදාල සිදුවීම සිදු වූ ස්ථානය වෙත ගොස් තොරතුරු සොයා බැලීමට ද කටයුතු කරන ලදි.
අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක් වූ සෞඛ්‍ය හා කාර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ කොළඹ ජාතික රෝහලේ සිදු කළ ශල්‍යකර්මයකින් පසුව ජිවිතයක් අහිමිවීම පිළිබද පසුගිය දිනවල කථාබහක් ඇති වු බවත්, මේ පිළිබදව විපරම් කිරිම සදහා ජාතික රෝහලට පැමිණි බවයි.
ඉහත සිදුවීම සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් ජාතික රෝහලෙන් ආරම්භ කර ඇති බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතිරේක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් විධිමත් කමිටුවක් හරහා ද මේ පිළිබද සාක්ෂි විමසීමක් දැනටමත් ආරම්භ කර ඇති බවද පැවසීය.
“ඉහත සිදුවීම සිදුවන අවස්ථාවේ සේවයේ නිරතව සිටි වෛද්‍ය, හෙද සහ අනෙකුත් කාර්ය මණ්ඩලවලින් සාක්ෂි විමසීම දැනටමත් ආරම්භ කර තිබෙනවා. මෙම රෝගී කාන්තාව සැත්කමකට භාජනය කර නැවත වාට්ටුව වෙත ගෙනවිත් නිර්වින්දනයෙන් සුවපත් වන අවස්ථාවේ දි මෙම ගැටළුව මතුව තිබෙන බව වාර්තා වෙනවා. සිදු වූ සිද්ධිදාමය පිළිබදව සාක්ෂි විමසීම දැනටමත් ආරම්භ කර තිබෙනවා.
“කාබන්ඩයොක්සයිඩ් නොසැළකිලිමත් ලෙස ලබාදීම යන කරුණ පිළිබදව පැහැදිලි ගැටළුවක් තිබෙන බව පෙනෙන්නට තිබෙනවා. එම ස්ථානයට සම්බන්ධ වූ කාබන්ඩයොක්සයිඩි සිලින්ඩරයක් තිබිලා තිබෙනවා. ඔක්සිජන් ලබාදි ඇති බවත් වාර්තා වී තිබෙනවා. මෙය සිදු වූනේ අවසන් අවස්ථාවේ ද මුල් අවස්ථාවේ ද යන්න පිළිබදවත්, අවසන් අවස්ථාවේ අත්වැරදීමකින් යම් දෙයක් සිදු වුණා ද කියන ගැටළුවත් මෙතන තිබෙනවා.
එම ගැටළුව විසදාගැනීමට මෙම පරික්ෂණ සිදු කරන්නේ. ඒ අනුව මතුවන කරුණු අනුව අදාල ක්‍රියාමාර්ග ගන්නවා. අපට විශේෂයෙන්ම අවශ්‍ය කර තිබෙන්නේ වැරැද්දට හේතුව සොයාගෙන නැවත මෙවැනි සිදුවීමක් සිදු නොවීමට පියවර ගැනීමයි. ඒ සම්බන්ධව වාර්තාව අනිද්දා පමණ ලැබුන විගස මේ පිළිබද වැඩිදුර තොරතුරු ලබාදීමට කටයුතු කරනවා.”
