ගානිස් අලි නැමැති අරගලකරුවෙකු කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ඩුබායි බලා පිටත්ව යාම සදහා ගුවන් යානය වෙත පිවිස අසුන් ගෙන සිටියදී , කොළඹ සිට පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් 07/26 දින සවස අත් අඩංගුවට ගෙන ඇති බව කටුනායක ගුවන් තොටුපළ ප්‍රකාශකවරයෙකු පැවසීය .
මොහු පසුගිය දා ජාතික රෑපවාහිනී සංස්ථාව වෙත ගොස් තර්ජනය කිරීම පිළිබඳව චෝදනාවක් මෙයට හේතු වී ඇති බව ඔහු වැඩිදුරටත් සදහන් කළේය. 31 හැවිරිදි මොහු කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ගානිස් අලි 07/26 දින සවස 06.35 ට ඩුබායි බලා පිටත්ව යන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 225 දරන ගුවන් යානයට පිවිසීම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
ඔහු ගුවන් තොටුපළ වෙත පැමිණෙන අවස්ථාවේ , ඔහුට විදේශ ගත වීම සදහා ගුවන් ගමන් තහනමක් කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත ලැබී නොතිබිණි .
එනිසා මොහු ගුවන් තොටුපළ සියලු නිශ්කාශන කටයුතු නිම කර මෙම යානය වෙත පිවිස අසුන් ගැනීම ද සිදු කර තිබුණි .
එහෙත් 07/26 දින සවස 05.45 පමණ වනවිට කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් මොහුට එරෙහිව නිකුත් කර ඇති ගුවන් ගමන් තහනම් නියෝගය ද රැගෙන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි අතර , එම නිලධාරීන් මෙම ගුවන් යානය වෙත පිවිස , එහි අසුන් ගෙන සිටි මෙම පුද්ගලයා අත් අඩංගුවට ගැනීමට කටයුතු කර තිබුණි .
මේ වනවිට මෙම පුද්ගලයා කටුනායක ගුවන් තොටුපළ ජාතික රහස් තොරතුරු ඒකකයේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවේ තබා ගෙන ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින අතර , ඉන්පසුව මොහු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය .
මෙම සිදුවීම නිසා මෙම ශ්‍රී ලන්කන් ගුවන් යානය රාත්‍රී 07.05 ට පමණ කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගිය අතර , කොළඹ සිට පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් තවත් විනාඩි 30 ක් පමණ ප්‍රමාද වූයේ නම් ,
මොහු කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව යෑමට අවස්ථාව තිබුණි