ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නාට්‍ය පෙන්වමින් සිටින බවත්, මෙවැනි නාට්‍ය පෙන්වමින් සිටින අවස්ථාවේ රටේ ජනතාව මහපාරේ දුක් විඳිමින් සිටින බවත් සමගි ජන බලවේගයේ නායක විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ජන පීඩකයින් එළවන සමගි බල පා ගමන තෙවැනි දිනය සඳහා අද (28දා) ගලිගමුවෙන් ආරම්භ කළ අවස්ථාවේ අදහස් පළ කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
"මාස තිහක් ඇතුළත මේ රාජපක්ෂ පවුල මේ රට බංකොළොත් කරලා මේ රට විනාශ කරලා කාලා ඉවර කරලා ඉවරයි. අද අපේ රට ලෝකයා හඳුන්වන්නේ බංකොළොත් ආණ්ඩුවක්, බංකොළොත් රජයක් තියෙන, බංකොළොත් රටක් හැටියටයි. අපේ රට බංකොළොත් වුණේ වෙන මොකක් නිසාවත් නෙමෙයි මේ රටේ ජාතික ධනය, ජාතික දේපළ, ජාතික සම්පත හොරාකාපු රාජපක්ෂ පවුල හින්දයි.
මම එදා ජනාධිපති වේදිකාවේ කිව්වා මේ රටේ ජාතික ආරක්ෂාවයි හොරු අල්ලන වැඩසටහනයි අපි බාර දෙන්නේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මැතිතුමාට කියලා. ඒකේ ආයේ කිසි වෙනසක් කරන්නේ නෑ. හොඳට මතක තියාගන්න හොඳ ගමනක් යන කොටත් එක එක අය ඉන්නවා. බොහෝවිට තනි පුද්ගලයන් පවා ඉන්නවා. සමාජ මාධ්‍යවල බොරු දානවා ජනතාව නොමඟ යවලා මේ එක එක ගස්ටන නිර්මාණය කරන්න හදනවා. හොඳට මතක තියාගන්න මේ සජිත් ප්‍රේමදාසව කිසිම කෙනෙක් සමග කොටවන්න කාටවත් බැහැ.
අර බංකොළොත් වෙච්ච පොහොට්ටුකාරයෙක් පෙරේදා එකක් කියලා ඊයේ තව එකක් කියලා මගෙන් බැනුම් අහගත්තා. ඉල්ලන් කා ගත්තා. එකක් හොඳට මතක තියාගන්න මේ සමගි ජනබලවේගයේ අපි කිසිම කෙනෙකුට කාත් එක්කවත් පෞද්ගලිකව ඩීල් නෑ.
මාස 30ක් තිස්සේ මේ රට කාලා හොරා කාලා කෝටිපතියන්ට බදු සහන දීලා රටේ ජාතික දේපොළ විනාශ කෙරුවා. උතුර එක රටකට, දකුණු තව රටකට, නැගෙනහිර තව රටකට, බටහිර තවත් රටකට විකුණපු හොර හැත්ත එක්ක අපිට අන්තර්වාර පාලනයක් නෑ. දැන් මිත්‍රවරුනි හැමදාම හැන්දෑවට ප්රවෘත්ති පොඩ්ඩක් බලන්න.
දැන් යනවා විගඩ නාඩගමක්, දැන් යනවා අලුත්ම ටෙලි නාට්‍යයක් ජනාධිපති කියනවා අයියේ ගෙදර යන්න ආණ්ඩුව ඉල්ලා අස්වෙන්න කියලා. අගමැතිවරයා කියනවා ජනාධිපති මල්ලි මට කවදාවත් ගෙදර යන්න කියන්නේ නෑ කියලා. ජනාධිපති මල්ලි මාව රැක ගන්නවා කියලා කියනවා.
මොන විහිළුද මේ කරන්නේ? මේ විහිළු නාඩගම යනකොට මහ පාරේ ජනතාව දුක් විඳිනවා. කන්න නෑ, ජීවත් වෙන්න විදිහක් නෑ, තෙල් ටික නෑ, දරුවන්ට කිරි පිටි නෑ, ගෑස් ටික නෑ. ඊයේ පෙරේදා සිමෙන්ති කොට්ටයක මිල කීයකින් ඉහළ දැම්මාද ඊයේ දවසේ ගෑස් සිලින්ඩරයක මිල කීයකින් ඉහළ දැමුවාද? මේ වගේ රටකට වින කරපු මේ කාලකණ්නි හැත්ත අපි මැර බලයෙන් ගෙදර යවන්නේ නෑ, අපි ඒ ගෙදර යවන්නේ ජනතා බලයෙන්, ජන සවියෙන්, ජන ශක්තියෙන් කියලා මම ප්‍රකාශ කර සිටිනවා."
දිනේෂ් සමරකෝන් / කෑගල්ල චමින්ද ජයලත්