මෙරට ජාතික ආරක්ෂාව පිළිබද සමාලෝචනයක් සිදු කිරීමට අපේක්ෂා කරන බවත් නව ආර්ථික ප්රවනතා මෙන්ම දේශගුණික විපර්යාස ඇතුළු සියලු සාධක කෙරෙහි එහිදී අවධානය යොමු කෙරෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ඒ සඳහා විශ්‍රාමික මේජර් ජෙනරාල් චන්න ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් කණ්ඩායමක් පත් කර ඇති බව පැවසූ ජනාධිපතිවරයා එම වාර්තාව ලැබීමෙන් පසු ජාතික ආරක්ෂක මණ්ඩලයේ නවීන ආරක්ෂක ප්‍රතිපත්ති සකස් කිරීමට පියවර ගන්නා බව ද සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ බූස්ස උසස් නාවික පුහුණු මධ්‍යස්ථානයේ පැවති ශ්‍රී ලංකා නාවික හමුදාවේ ස්වේච්ඡා බල සේනාව වෙත ජනාධිපති වර්ණ ප්රදානෝත්සවය අමතමිනි.
අනාගත අභියෝග අවි ආයුධවලට පමණක් සීමා කළ නොහැකි බවත් ඒවාට මුහුණදීමට ඉහළ නිපුණතාවයකින් මෙන්ම නවීන තාක්ෂණ දැනුමෙන් යුත් ආරක්ෂක හමුදාවක් ගොඩනැඟීමේ අවශ්‍යතාවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
එසේම ආරක්ෂක හමුදාවන්ගේ සුබසාධනය සහ විශ්‍රාම දිවිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් රජය අවධානය යොමු කර තිබෙන බවත් ඒ පිළිබඳ මෙම නව ජාතික ආරක්ෂක සමාලෝචනයට ඇතුළත් කිරීමට අපේක්ෂා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
බූස්ස උසස් නාවික පුහුණු මධ්‍යස්ථානය වෙත පැමිණි සේනාධිනායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහ ස්වේච්ඡා බලසේනා ප්‍රධානි රියර් අද්මිරාල් ධම්මික කුමාර යන මහත්වරුන් විසින් පිළිගනු ලැබීය.
අනතුරුව විශේෂ හමුදා උත්තමාචාරයක් ද ජනාධිපතිවරයා වෙත පිරිනැමුණු අතර පෙළපාළිය නිරීක්ෂණය කිරීමට ද ජනාධිපතිවරයා එක් විය.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ ස්වේච්ඡා බල සේනාව වෙත ජනාධිපති වර්ණ ප්රදානය කරමින් වර්ණ ධජ පිළිගැන්වීම ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.