"යුක්තිය " මෙහෙයුම වැඩපිළිවෙල ක්‍රියාත්මක නොවූයේ නම් ශ්‍රී ලංකාව චිකාගෝවක් වීමට ඉඩ තිබූ බව අමාත්‍ය ටිරාන් අලස් මහතා ගම්පහ , නයිවලදී පැවසීය.
ගම්පහ පොලිස් කොට්ඨාසයේ පොලිස්ථාන 19 කට අයත් ප්‍රජා පොලිස් කමිටු 709 ක නියෝජිතයින් දැනුවත් කිරීමේ වැඩසටහනකදී අමාත්‍යවරයා එසේ පැවසූ අතර වැඩි දුරටත් අදහස් දක්වමින් සදහන් කර සිටියේ , යුක්තිය මෙහෙයුමේ වැඩපිළිවෙල යටතේ ලබන ජූනි මස 30 වෙනි දින වනවිට මත් ද්‍රව්‍ය සහ පාතාලය මැඩලීමෙන් රටේ විශාල වෙනසක් සිදුවන බවයි. ඒ සඳහා පොලීසිය විශාල ශක්තියත් ලබා දී ඇති බවද ඔහු සඳහන් කළේය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය හෝ ජාත්‍යන්තර මොනවා ප්‍රකාශ කළද මත් ද්‍රව්‍ය සහ පාතාලය මැඩලීම පිනිස දැනට ආරම්භ කොට ඇති " යුක්තිය " මෙහෙයුම කිසි සේත්ම නතර නොකරන බව සදහන් කළ අමාත්‍යවරයා , ජාත්‍යන්තරයට උත්තර දීමට තමන් කාලය ගත නොකරන බවද කීය.
මෙහිදී වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අදහස් දක්වමින් , ප්‍රජා පොලිස් කමිටු මගින් ලබාදෙන සක්‍රීය දායකත්වය ඉතා අගය කරන බවත් පොලීසිය නව ක්‍රමවේදයන් අනුගමනය කරමින් මත් ද්‍රව්‍ය සහ පාතාලය මර්ධනය කිරීම පිනිස ගෙන ඇති ක්‍රියාමාර්ග හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ මත් ද්‍රව්‍ය බෙදාහැරීම සියයට හැත්තෑවකින් පමණ දැනට අඩුව ඇති බවත්ය. මෙය ලබන මාසය වනවිට සියයට සීයක් වන බවත් අලුතින් එක්වන මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හදුනා ගැනීම පිනිස බුද්ධි අංශ මගින් විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කොට ඇති බවත් හෙතෙම සඳහන් කළේය.