"පක්ෂයක් ලෙස විවේචන භාරගන්න අපි නිතර සූදානම්.නමුත් මඩගහන එකට අපි විරුද්ධයි.ඔප්පුකිරීමට නොහැකි දේවල් ප්‍රකාශකරමින් ජනතාව මුලාකිරීමට විපක්ෂය කටයුතු කරමින් සිටිනවා.ගමේ මිනිස්සු හැමදාම සිටියේ අප සමඟයි.කිසිවිටෙක ඔවුන් අප හැරදමා නොයන බවට දැඩිවිශ්වාසයක් තිබෙනවා.ඉදිරි මැතිවරණ වලදී නගරයේත් ගමේත් සියලුම ජනතාව ශ්‍රීලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කිරීමට පියවරගන්නා බව සක්සුදක්සේ පැහැදිලි" යැයි හිටපු ජනාධිපති පා.ම ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
මහින්ද රාජපක්ෂ මහතා එසේ පැවසුවේ ඉකුත් (12) වෙනිදා මොනරාගල තිස්සපාරේ පක්ෂ කාර්යාලයේදී පැවති ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ මොනරාගල දිස්ත්‍රික් සමුළුව අමතමිනි.
හෙතෙම මෙසේද කීය, "අපේ රජය කාලයේ මුළු රටම වෙලාගත් සංවර්ධනයක් සිදුවුණා.ප්‍රධාන මාර්ග පමණක් නොවෙයි ග්‍රාමීය මාර්ගද කාපට් කළා.
එදා විරුද්ධවාදීන් කිව්වා කාපට් කන්නද කියලා. නමුත් අද ග්‍රාමීය ජනතාව එම මාර්ග ප්‍රයෝජනයට ගනිමින් තම නිෂ්පාදනයන් ගෙනඒමටත් අනෙකුත් පහසුකම් සපුරාගැනීමටත් යොදාගන්නවා.
මීට වසර දහයකට පමණ ඉහතදී මොනරාගල දිස්ත්‍රික්කයේ ගම්නියම් ගම්වලට විදුලිය තිබුණේ නැහැ.නමුත් අපේ රජය යටතේ නිවාස වලින් 96% වැඩි ප්‍රමාණයකට විදුලිය ලබාදී තිබෙනවා.ග්‍රාමීය පාසල් වලට අවශ්‍ය භෞතික පහසුකම් සහ මානව සම්පත් ලබාදී තිබෙනවා.මොනරාගල දිස්ත්‍රික් රෝහල මහ රෝහලක් බවට පත්කොට අවශ්‍ය පහසුකම් ලබාදී තිබෙනවා.
ප්‍රථම වතාවට මොනරාගලට පිහිනුම් තටාකයක් ලබාදුන්නා.මහානාමයේ දරු දැරියන් පමණක් නොව අවට පාසල් වල දරුවන් අද පිහිනුම් තරඟ වලට ඉදිරිපත්වෙනවා.
ග්‍රාමීය මට්ටමෙන් කෘෂිකර්ම කටයුතු වල යම් පසුබෑමක් සිදුවී තිබෙනවා.පාරිභෝගික භාණ්ඩ වල මිල වැඩිවී තිබෙනවා.ඉදිරියේදී ක්‍රමක්‍රමයෙන් කෘෂිකාර්මික කටයුතු වලට ආධාර උපකාරදී ගොවීන්ගේ ආර්ථිකය ශක්තිමත්කිරීමට පියවර ගන්නවා .මේවන විට ඩොලරයේ අගය අඩුවී තිබෙනවා.ඒ අනුව ඉදිරියේදී බඩු මිලද අඩුවෙනවා. අපි ඡන්දයට බය නැහැ.අපේ පක්ෂය ගමට වැඩ කරපු පක්ෂයක්.ග්‍රාමීය ජනතාවගේ ආදරය දිනාගත් පක්ෂයක්.එබැවින් කිසිසේත්ම අපි ඡන්දයට බය නැහැ.වෙල්ලස්සේ ජනතාව එදා ප්‍රාදේශීය සභා දහයේම බලය අපට ලබාදුන්නා.
ඉදිරි මැතිවරණයේදීත් එසේ ලබාදෙන බවට කිසිම සැකයක් නැහැ.ජනතා විමුක්ති පෙරමුණ ගමින් ගමට යමින් රට ගොඩනංවන බව ඔවුන් පවසනවා. නමුත් 1971 දී,88 සහ 89 කාල වලදී රටේ සම්පත් විනාශ කළේ ජනතා විමුක්ති පෙරමුණයි.එවැනි පක්ෂයකට බලය ලබාදීමට තරම් වෙල්ලස්සේ ජනතාව මෝඩ නැහැ.
වෘත්තීය අයිතීන් වෙනුවෙන් රාජ්‍ය සේවකයින් උද්ඝෝෂණ වැඩවර්ජන කළයුතුයි.නමුත් ඉන් ජනතාව අපහසුතාවයට පත්නොවිය යුතුයි.පාසල් ගුරුවරුන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වැඩවර්ජනය කිරීම නිසා පාසල් දරුවන්ගේ විභාග කටයුතු කල්යනවා.වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වර්ජනය කිරීමෙන් රෝගීන් අසරණ වෙනවා.හැකිතාක් දුරට සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසඳාගත යුතුයි."
මොනරාගල සුමනසිරි ගුණතිලක
