පික් මී කුලී රථ සේවාව ඔස්සේ මෝටර් රථයක් ගෙන්වා ගෙන මිරිස්සට යාමට සැලසුම් කල ජර්මන් ජාතික කාන්තාවන් තිදෙනෙකුට ඒ සදහා ඉඩ ලබා නොදී සාපරාධී බලහත් කාරය පාමින් රුපියල් 500 ක් බලහත්කාරයෙන් ලබාගත් බව කියන මාතර නගරයේ ත්‍රීරෝද රථ ගාලක රියදුරෙකු සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි.
අදාල විදේශීය ජාතිකයින් කාන්තාවන් තිදෙනා ඉකුත් 18 වැනි දින කොලඹ සිට අධිවේගී බසයකින් මාතර ප්‍රධාන බස්නැවතුම්පොල වෙත එන අතරවාරයේදී අදාල කුලී රථ සේවාවෙන් මෝටර් රථයක් කුලී ගමනක් යාමට ඇණවුම් කර තිබේ.
ඒ අනුව ඔවුන් මාතර නගරයට පැමිණ මෝටර් රථයට ගොඩවීමට උත්සාහ කළ අවස්ථාවේදී ත්‍රීරෝද රථ රියදුරන් තිදෙනෙකු පැමිණ ඊට බාධා කරමින් එම ස්ථානයේ ත්‍රීරෝද රථයක සේවය ලබාගන්නා ලෙසත් පිටතින් පැමිණ හයර් යාමට ඉඩ ලබා නොදෙන බවත් ප්‍රකාශ කර තිබෙන බව කියති.
එහෙත් විදේශීය ජාතික කාන්තාවන් එම ත්‍රීරෝද රථ වල සේවය ලබා ගැනීමට අකමැති වී තිබෙන අතර අදාල මෝටර් රථයෙන් සේවය ලබාගැනීමට උත්සාහ කර ඇත.
එම අවස්ථාවේදී සැකකාර ත්‍රීරෝද රථ රියදුරන් ඔවුන්ගේ සේවය ලබා නොගැනීම නීසා රුපියල් 500ක මුදලක් බලහත්කාරයෙන් ඉල්ලාගෙන ඇති බව පොලීසිය කියයි.
පසුව එම සිද්ධියට ලක්වු ජර්මන් ජාතික කාන්තාවක් මාතර දී තමාට මුහුණ පෑමට සිදුවු අපහසුතාවය පිළිබඳව මෝටර් රථයෙන් යන අතරතුරදී අන්තර්ජාලයට ප්‍රකාශයක් මුදා හැර තිබුණි.
එහි මෙසේ සඳහන් විය.
“හායි මම එමරි, මම ජර්මන් ඉදන් ආවේ. අද පෙබරවාරි 18 වෙනිදා. අපි සාමාන්‍ය බස් එකකින් මාතරට ආවා. අපි එතැනින් පික් මී එකක් දාගත්තා. මිරිස්ස බීච් එකට. කාර් එකක් දාගත්තේ අපි තුන්දෙනාට යන්න. හැබැයි නොසිතූ විදියට. අපිව ත්‍රීවීල් රියදුරන් තුන් දෙනෙක් වට කර ගත්තා. ඒ අය අර කාර් එකට එතන වාහනය නවත්න්න ඉඩදුන්නේ නෑ.
ඊට පස්සේ අපි වෙන තැනකට ගිහින් රියදුරාට මුණ ගැසුණා. ඊට පස්සේ එයාලා අපිට කාර් එකට නගින්න දුන්නේ නෑ. ඊට පස්සේ අපිට ඔවුන්ට සල්ලි දෙන්න වුණා. ඊට පස්සේ තමයි අපිට වාහනයට නගින්න ඉඩ දුන්නේ. මට හරීම දුකයි. සංචාරකයෙක් විදිහට හරීම අප්‍රසන්න අත්දැකීමක්.”
එම ප්‍රකාශය පිළිබඳව තොරතුරු සැලවීමත් සමගම මාතර ජේෂ්ඨ පොලිස් අධිකාරී පණ්ඩුල වීරසිංහ මහතා ඒ පිළිබඳව කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙසට මාතර මූලස්ථාන පොලිස් පරීක්ෂක රොෂාන් හෙට්ටිආරච්චී මහතාට නියෝග කළේය.
මාතර නගරයේ ත්‍රීරෝද රථ රියදුරන් තිස් දෙනෙකු පමණ පොලීසිය වෙත කැදවා තොරතුරු විමසා යම් හෝඩුවාවක් ලබාගත්තේය.
පසුව කුලී සේවා සපයන ආයතනය මගින් අදාල මෝටර් රථයේ රියදුරු සම්බන්ධ කර ගෙන පොලීසිය ඔහු ගෙන්වා පැමිණිල්ල සටහන් කරගෙන තිබුණි.
ඒ අනුව සැකපිට ත්‍රීරෝද රථ රියදුරෙකු හා ඔහූගේ ත්‍රීරෝද රථය අත්අඩංගුවටගත් බව පොලීසිය කියයි. මැද්දවත්තේ පදිංචි 42 හැවිරිදි ඔහු මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම සිද්ධියට සම්බන්ධ තවත් ත්‍රීරෝද රථ රියදුරන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇත.
ක්‍රිෂාන් ජීවක ජයරුක්)