ලුතිනන් කර්නල් තුවාන් මුතාලිෆ් ඝාතනයේ සැකකරුවෙකු ලෙස හා එල් ටි ටි ඊ සංවිධානයට සහය ලබාදුන් බවට චෝදනා එල්ල වි තිබු බොරැල්ලේ දී ඝාතනයට ලක් වූ ව්‍යාපාරිකයාට වෙඩි තැබීමට පැමිණි පුද්ගලයන් දෙදෙනාට ප්‍රවාහන පහසුකම් ලබා දී ඇත්තේ යුද්ධ හමුදා මේජර්වරයකුට අයත් කැබ් රථයකින් බවට අනාවරණය වූ බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
ඒ අනුව අඹේපුස්ස යුද හමුදා කදවුරට අනියුක්ත පොලොන්නරුව ඕනෑගම පදිංචි යුද්ධ හමුදා මේජර්වරයාට අයත් කැබ් රථය පොලිස් භාරයට ගෙන ඇති අතර ඝාතනයට ආධාර අනුබල දුන් බව කියන පුද්ගලයන් සිව් දෙනෙකුද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
ඉකුත් 20 වෙනි දින බොරැල්ල ලෙස්ලි රණගල මාවතේ දී නාඳුනන පුද්ගලයකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ඝාතනයට ලක්වූයේ කැලණිය විහාර මහා දේවීමාවතේ පදිංචිව සිටි ඉඳුරුගොල්ල විදානආරච්චිලගේ සංජීව (53) යන අයෙකි.
මියගිය පුද්ගලයා දින (20) අලුයම 6 ට පමණ සිය දියණිය සමග යතුරු පැදියෙන් බොරැල්ල ලෙස්ලි රණගල මාවත කරා පැමිණ දුම්රිය හරස් මාර්ගය ආසන්නයේ දී දියණිය යතුරුපැදියෙන් බැස ඥාති නිවසක් කරා ගමන් කිරීමත් සමගම එම ස්ථානයට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකුගෙන් යතුරුපැදියේ පිටුපස සිටි පුද්ගලයා එහි සිටම යතුරු පැදිය මත සිටි ව්‍යාපාරිකයාට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබූ බව පොලිසිය කියයි
ඒ සමඟම ව්‍යාපාරිකයා යතුරු පැදියෙන් බිමට ඇද වැටීමේ දී වෙඩික්කරුවා යතුරු පැදියෙන් බැස බිම වැටී සිටි ව්‍යාපාරිකයා අසලට පැමිණ නැවත නැවත වෙඩි ප්‍රහාරයක් එල්ල කර යතුරු පැදියේ නැගී පලාගොස් තිබිණි.
ඝාතනයට ලක්වූ ව්‍යාපාරිකයාට වෙඩික්කරුවන් ටි 56 ගිනි අවියකින් වෙඩි තබා ඇති අතර හිස් උණ්ඩ විසිහතක් මෙම ස්ථානයේ තැන තැන වැටී තිබියදී පොලිසිය මඟින් සොයාගෙන ඇත.
ඝාතනයේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පැවරීමෙන් අනතුරුව එහි අධ්‍යක්ෂක සහ ස්ථානාධිපතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත සහ උප පොලිස් පරීක්ෂක ආර් එල් ආර් මධුරංග නිලධාරින් විසින් සිදු කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව වෙඩික්කරුවන්ට ප්‍රවාහන පහසුකම් දුන් කැබ් රථයේ ලියාපදිංචි අංකය හඳුනාගෙන එය පොලිස් භාරයට ගැනීමට කටයුතු කර තිබිණි.
එම අපරාධය සිදු කිරීම සඳහා වෙඩික්කරුවන් බොරැල්ල හරස් මාර්ගය වෙත රැගෙනවිත් තිබුණේ මෙම කැබ් රථයෙන් බවට අනාවරණය වී තිබිණි.
එතැන් සිට වෙඩික්කරුවන් දෙදෙනා යතුරු පැදියෙන් බොරැල්ල හරස් මාර්ගයේ සිට බේස්ලයින් මාර්ගය ඔස්සේ ලෙස්ලි රණගල මාවතට පැමිණ ඇති බව
සීසීටීවී දර්ශන වලින් අනාවරණය කරගත් බව පොලිසිය කියයි
අනතුරුව ඒ ඔස්සේ සිදුකළ දීර්ඝ විමර්ශනයේදී කැබ් රථයේ හිමිකරු වන යුද්ධ හමුදා මේජර්වරයා ඉකුත් මාර්තු මස 19 වෙනි දින මාසිකව රුපියල් එක්ලක්ෂ 35000 මුදලකට මාස තුනක කාලයකට ගිවිසුමක් මාර්ගයෙන් ගාලු පාර කොළඹ 4 මේ පිහිටි වාහන කුලී පදනම ලබා මත ලබා දෙන ස්ථානයකට ලබාදී තිබු බවට පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත.
අනතුරුව එම කැබ් රථය මාතර වල්ගම ප්‍රදේශයේ පුද්ගලයකුට කුලී පදනම මත ලබා දී ඇති අතර එම පුද්ගලයා විසින් කැබ් රථය මරදාන ප්‍රදේශයේ නියෝජිත ආයතනයක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයෙකුට රුපියල් 14 ලක්ෂ 75000 මුදලකට උකස් කර තිබූ බව පොලිසිය කියයි.
එම ව්‍යාපාරිකයා විසින් එම කැබ් රථය ඔහුගේ පුද්ගලික පරිහරණය සඳහා තබාගෙන සිටියදී ඔහුට කැබ් රථය උකස් කළ පුද්ගලයා පැමිණ එය හමුදා මේජර්වරයාට ලබා දීමට යැයි පවසා කෙසෙල්වත්ත ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක් අසලදී රැගෙන ගොස් තිබූ බව පොලිසිය කියයි.
ඉකුත් මැයි 19 වෙනි දින ජම්පටා වීදිය පුද්ගලික ආයතනයක රථ ගාලක් අසල දී පුද්ගලයින් දෙදෙනකු පැමිණ කැබ් රථය රැගෙන යන අයුරු සීසීටීවී දර්ශන වල සටහන්ව තිබු බව පොලිස් නිලධාරියකු පැවැසීය.
අනතුරුව විසි වෙනි දින ඝාතනය සිදු කිරීමෙන් පසු කැබ් රථය හෙට්ටිවීදිය ප්‍රදේශයේ පල්ලියක් අසල නවතා අත්අඩංගුවට ගත් සැකකරු වෙත භාර දී තිබූ බවත් අනතුරුව වෙනත් සැකකරුවෙකු විසින් 22 දින කඩවත රාගම පාරේ දි කැබ් රථය භාරගෙන එය ලියාපදිංචි හිමිකරුට භාරදීම සඳහා නුවර පාර පහල ඉඹුල්ගොඩ 14 කනුව ප්‍රදේශයේ පුද්ගලික ආයතනයක් ඉදිරිපිට නවතා ලියාපදිංචි අයිතිකරු වන හමුදා හමුදා මේජර්වරයාට දුරකතනයෙන් දැනුම් දීමෙන් අනතුරුව ඔහු පැමිණ කැබ් රථය රැගෙන ගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මෙම ඝාතනය සිදු කිරීම සඳහා ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් මාතර වල්ගම, කොළඹ 12 ගුණසිංහපුර , කොළඹ 13 ජම්පටා වීදිය , පදිංචි වයස අවුරුදු 22 හා 29 අතර පසුවන්නන් සිව් දෙනෙකි.