ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ කාමර 50ක ව්‍යාපෘතිය නිම කිරීමට පෙර රූපවාහිනි යන්ත්‍ර සහ වායු සමීකරණ යන්ත්‍ර මිලදී ගෙන ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප්) අනාවරණය විය.
අඟල් 32ක රූපවාහිනී යන්ත්‍ර 25ක් මිලදී ගැනීමට අනුමැතිය හිමිව තිබියදී අඟල් 43ක රූපවාහිනී යන්ත්‍ර මිලදී ගැනීම සහ වායු සමීකරණ යන්ත්‍ර 18ක් මිලදී ගෙන ඉන් 15ක් නැවත මිලදී ගත් සමාගමට ලබා දී ඇති බවත් අනාවරණය විය.
ඒ අනුව මේ සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් ලබා දෙන ලෙස කෝප් සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා නිලධාරීන්ට නියෝග කරනු ලැබිණි.
කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර – ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ගෙවන වාට්ටු කාමර 04, ඒ කියන්නේ ෆැමිලි රූම් ලෙස නවීකරණය කිරීම ඇතුළු කාමර 50ක් නවීකරණය සම්බන්ධයෙන් පහත කරුණු නිරීක්ෂණය වුණා. කාමර 50 ව්‍යාපෘතිය සඳහා මිලදී ගැනීම යටතේ ප්‍රධාන ගබඩාවේ ද්‍රව්‍ය අභියාචනා පත්‍රය අනුව ගෙවන වාට්ටු සඳහා අඟල් 32 ප්‍රමාණයේ රූපවාහිනී යන්ත්‍ර 25ක් මිලදී ගැනීමට අනුමැතිය ලබා දී තිබුණත් ඊට අනුකූල නොවන ලෙස අඟල් 43 ප්‍රමාණයේ රූපවාහිනී යන්ත්‍ර 25ක් වැට් එක්ක රු. 2,636,100ක මුදලකට මිලදී ගෙන තිබුණා. 2025 අප්‍රේල් 30 වන විටත් රූපවාහිනී යන්ත්‍ර 06ක් පමණක් භාවිතයට ගෙන තිබුණා.
ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ සැපයුම් නිලධාරී මංගල විජේරත්න - ගෙවන වාට්ටු සඳහා උපකරණ ගන්න තියලා සභාපතිතුමා ප්රමුඛ කමිටුවකින් අපිට දැනුම්දීමක් කළා. ඊට පස්සේ වාට්ටුවලින් අපිට ආවා එස්.ආර්.එන් පත්‍රයක්. ඒකේ අඟල් 32 කියලා තිබුණට පසුව ඒක අඟල් 43 කරලා තමයි අපිට එවලා තිබුණේ. ඒ අනුව තමයි අපි අඟල් 43ට ටෙන්ඩර් කැඳවීමක් කළේ.
කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර – අනුමැතිය දීලා තිබුණේ අඟල් 32ට. ඔබතුමන්ලා කොහොමද අඟල් 43ට ටෙන්ඩර් කැඳවන්නේ?
ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ සැපයුම් නිලධාරී මංගල විජේරත්න - එස්.ආර්.එන් පත්‍රය, ඒ කියන්නේ ස්ටෝස්වලින් භාණ්ඩ ඉල්ලුම් කරලා අපිට ලැබෙන පත්‍රයේ 32 කියලා තිබිලා ඒක 43 කරලා තිබුණා. ඒක කපලා තියෙන්නේ කවුද කියලා දන්නේ නෑ. මීට කලින් කාමර 04කට අඟල් 43 ටී.වී. 04ක් ගත්තා. ඒ අනුව තමයි මේ ටී.වී ගන්නත් කියලා තියෙන්නේ. තාක්ෂණික ඇගයීම් කමිටුවත් ඒක නිර්දේශ කරලා තිබුණා අඟල් 43 ගන්න කියලා. ඒ අනුව තමයි ටෙන්ඩර් කැඳවීමක් කරලා තිබෙන්නේ.
කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර – අඟල් 32, අඟල් 43 වෙනකොට ඔබතුමාට ගැටලුවක් වුණේ නැද්ද?
ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ සැපයුම් නිලධාරී මංගල විජේරත්න - ඇත්තටම මට ඒ වෙලාවේ නම් ගැටලුවක් තිබුණේ නෑ. ඒ වෙලාවේ අඟල් 32කද 43ද කියලා අවධානයක් යොමු වුණේ නෑ.
කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි - 32 සහ 43 මිලෙහි වෙනසක් තියෙනවාද?
ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ සැපයුම් නිලධාරී මංගල විජේරත්න - මිලෙහි වෙනසක් තියෙනවා. මෙතනදී මූලිකවම අවධානය යොමු වෙලා තිබුණේ ගෙවන වාට්ටු කාමර 04ටත් අඟල් 43 ගත්ත නිසා මේකටත් අඟල් 43 ඉල්ලලා තිබුණා.
කොප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර – ප්‍රධාන හෙද නිලධාරිනිය ඉන්නවා නේද? ඔබතුමියට අදහසක් තියෙනවාද වාට්ටුවලින් ඉල්ලුවාද? මොකක්ද වෙලා තියෙන්නේ?
ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනී ඒ.එස්. කරුණාරත්න – පළමුවෙන් අපි අඟල් 32ක් විදියට තමයි අපි ඉල්ලුවේ වාට්ටු වලින්. ඊට පසුව කාමර හැදීමේ අවස්ථාවේදී අනිත් කාමරවලටත් ටී.වී. අවශ්‍ය බව පැවසුවා. ඒ අනුව ඒක වෙන්න ඇති කියලා මම හිතනවා. ඒ කාලයේ තිබුණා මීටින් එකක් සභාපතිතුමා ඇතුළුව. ඒකෙදි තමයි මේ විදිය තීරණයක් අපි ගත්තේ. ලෙඩ්ඩුන්ගෙන් නිතර නිතර පැමිණිලි එනවා.
කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර – අඟල් 32 මිලට 43ක් ගත්තා නම් අපිට ප්‍රශ්නයක් නෑ. මිල වෙනස්වීමක් වෙනකොට, අනුමැතිය ලබා දී නොතිබුණු එකකට ආයතනයක් ලෙස වියදම් කිරීමේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවට සිදුවෙනවා මේ නිර්දේශය ලබා දුන්නේ කොහොමද අහන්න. කවුද මේ නිර්දේශය දුන්නේ ?
ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ සැපයුම් නිලධාරී මංගල විජේරත්න - තාක්ෂණික කමිටුව නිර්දේශ ලබා දෙද්දිම අඟල් 43ට තමයි නිර්දේශ ලබා දුන්නේ. ඒ අනුව තමයි ටෙන්ඩර් කෝල් කළේ. ඒ අනුව අඟල් 43ට තමයි ටෙන්ඩර් කෝල් කිරීමක් සිදු කළේ. අඟල් 32 කෝල් කරලා 43 ගත්තේ නෑ.
කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර – අපිට ඒ සම්පූර්ණ වාර්තා ටික සපයන්න.
කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චිර – මෙතන 19ක් පාවිච්චි කරලා නැත්තේ ඇයි?
ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනී ඒ.එස්. කරුණාරත්න – මුලින්ම මේවා අධීක්ෂණය කළා ඉලෙක්ට්‍රික් රූම් එකෙන්. ඔවුන් කිව්වා ඒවා සවි කරන්න බෝල් බ්‍රැකට්ස් නෑ කියලා. එතනදී ටිකක් පරක්ක වුණා. දිගින් දිගටම ඉල්ලුවට අපිට ලැබුණේ නැහැ. සමහරක් ඒවගේ බෝල් බ්‍රැකට්ස් තිබුණා. ඒ අනුව දැන් 15ක් වෙන්න සවි කරලා තියෙනවා.
කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර – සමහරක් අය අලියෙක් ගන්නවා හෙණ්ඩුවක් ගන්නේ නැතුව.
ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනී ඒ.එස්. කරුණාරත්න – දැන් මාස 06කට ආසන්න කාලයක් වෙනවා සවි කරන්නේ නැතුව. අනිත් එක තමයි අද වෙනකොට අපේ කාමර අපි බලාපොරොත්තු වුණු විදියට අපිට හදාගන්න නොහැකි වෙලා තියෙනවා.
කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර – දැන් මේක අරන් මාස 09ක් වෙනවා නේද?
ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනී ඒ.එස්. කරුණාරත්න – ඔව්.
කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චිර – ඒ කියන්නේ කාමර හදන්න කලින් ටී.වී. ගත්තා?
ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනී ඒ.එස්. කරුණාරත්න – කාමර නැවත හැදීමක් නෙවෙයි තියෙන්නේ. ඒ තීරණය පසුව වෙනස් වෙලා ඒක නැවතුණා. ඒ නිසා තමයි මෙහෙම සිදු වුණේ.
කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර – ඉහත ව්‍යාපෘතියට අදාළව වායු සමීකරණ යන්ත්‍ර 18ක් රු.4,570,228කට මිලදී ගැනීමට අනුමැතිය ලබා දී තිබුණි. මෙහිදී ප්‍රසම්පාදන කමිටු සභාපති ඇතුළු නියෝජිතයන් දෙදෙනෙකුගේ අනුමැතිය මත ගැනුම් ඇණවුම නිකුත් කළ පසුව ප්‍රසම්පාදන සිදුකර තිබුණා. මේ සඳහා අත්තිකාරම් ඇපකරයක් මත කොන්ත්‍රාත් මුදලින් 30%ක් වූ 1,159,380ක මුදලක් ගෙවීම් කර තිබුණා. ඒ අනුව 2024 සැප්තැම්බර් 13වැනිදා වායු සමීකරණ යන්ත්‍ර 18ක් ලැබී තිබුණා. 2025 අප්‍රේල් 30 වන විට ඉන් යන්ත්‍ර 5ක් පමණක් භාවිතයට ගෙන තිබුණෙ. 2025 අප්‍රේල් 03 වැනිදා ඉතිරි යන්ත්‍ර 13 ආපසු සැපයුම්කාර ආයතනය වෙත යැවීමකට කටයුතු කර තිබුණා. මොකටද ගත්තේ ඉතින් ?
ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ සභාපති ජයංග තිලකරත්න - මම ඔක්තෝබර් මාසයේ 01වැනිදා සභාපති ලෙස වැඩ භාරගන්න කොට තිබුණු තවත් එක ප්‍රශ්නයක් තමයි මේ කාමර 50 නවීකරණය කියන එක. කාමර 50 නවීකරණය කරන්න කලින් බඩු අරන් තිබුණා රෝහලට. ඒක පිළිගන්නවා. පුදුම කලබලයකින් අරන් තියෙන්නේ. ඒකට අවශ්‍ය තොරතුරු තිබෙනවා. මේ ක්‍රියාවලියට නිසි අධ්යක්ෂ මණ්ඩල අනුමැතියක් නෑ. මේකට තියෙන්නේ කළමනාකරණ කමිටුවේ අනුමැතියක්.
ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය රත්නසිරි හේවගේ - මේ කළමනාරකරණ කමිටුව කියන්නේ පනතේ තියෙන කළමනාකරණ කමිටුව නෙවෙයි. සභාපතිතුමාගේ මූලිකත්වයෙන් හෙඩ්ස්ලා 32ක් එකතු වෙලා කරන කමිටුවක් තමයි මේ කළමනාකරණ කමිටුව කියන්නේ.