පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති (මහාචාර්ය) රංජිත් බණ්ඩාර මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රගතිය ඇගයීමට ලක් කළ අතර අනෙකුත් ජාතික විශ්ව විද්‍යාල නවීකරණය සඳහා ජාතික උපාය මාර්ගික සැලැස්මක් ද සම්පාදනය කරන ලෙස උපදෙස් දුන්නේය.
විගණකාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවලට අනුව විශ්ව විද්‍යාලය ලබා ඇති ප්‍රගතිය කාරක සභාවේ පැසසුමට ලක්විය.
මහා භාණ්ඩාගාරයට බරක් නොවන පරිදි අරමුදල් සැපයීම සඳහා විශ්වවිද්‍යාලය විසින් කාලය සමඟ සංවර්ධනය කරන ලද ස්ථාවර තැන්පතුවක් පවත්වාගෙන යාම මෙහිදී විශේෂ ඇගයුමට ලක්විය. මෙවැනි පියවරයන් දිවයිනේ අනෙකුත් විශ්වවිද්‍යාලවල ද ක්‍රියාත්මක කළ යුතු බව පෙන්වා දුන් කෝප් සභාපතිවරයා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ඉල්ලා සිටියේ උපාධි හා පශ්චාත් උපාධි අධ්‍යාපනයේ ප්‍රමිතිය ඉහළ නැංවීමට තවදුරටත් වඩාත් සාධනීය පියවර ගන්නා ලෙසයි.
සේවක පුරප්පාඩු පිරවීම සදහා අදාළ අංශවලට ඉල්ලීම් කළද රටේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ඒ සදහා දුෂ්කරතා ඇති වූ බව අනාවරණය විය. මේ සම්බන්ධයෙන් විසඳුම් ඉල්ලා කෝප් කමිටුවට නිල වශයෙන් ලිඛිතව දන්වන ලෙස කාරක සභාවේ සභාපතිවරයා විශ්වවිද්‍යාලයට නියෝග කළේය.
අනවසර පදිංචිකරුවන් අල්ලාගත්, විශ්ව විද්‍යාලයට අයත් ඉඩමක් මුදල් වියදම් කර තිබියදීත් සම්පූර්ණයෙන් පවරා නොගැනීම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු විය. කොවිඩ් ව්‍යාප්තියත් සමඟ හමුදාව එම පරිශ්‍රය ප්‍රයෝජනයට ගෙන තිබූ බවත් මෙහිදී අනාවරණය විය. මේ සම්බන්ධයෙන් කඩිනම් විසදුමක් සදහා කෝප් කමිටුව විසින් ආරක්ෂක ලේකම්වරයාට ලිඛිතව දැනුම් දෙන බවට සභාපතිවරයා විශ්වවිද්‍යාල බලධාරීන්ට සහතික විය.
වසර 2012-2016 සිට ලෝක ශ්‍රේණිගත කිරීම්වල පහත වැටීමෙන් පසුව, විශ්ව විද්‍යාලය එතැන් සිට ක්‍රමිකව ශ්‍රේණිගත කිරීම්වල ඉහළ ගොස් ඇති බව අනාවරණය විය. බලධාරීන් මෙහිදී ප්‍රකාශ කළේ මෙම ශ්‍රේණිගත කිරීම ඉහළ නැංවීමට හේතු වූ ජාත්‍යන්තර කීර්තිමත් පර්යේෂණ පත්‍රිකා හැරුණු විට, අන්තර් ශිෂ්‍ය ගැටුම් සහ අතිශය ඉහළ සුදුසුකම් කඩඉම් ලකුණු ලබා ගැනීමේ දුෂ්කරතා ආදිය විදේශීය සිසුන් ආකර්ෂණය කර ගැනීමට බාධාවක් ලෙස ක්‍රියා කළ බවයි.
ඔවුන්ගේ අධ්‍යයන කටයුතුවලට අමතරව ශිෂ්‍ය ණය පහසුකම් සැපයීම වැනි විසදුම් ගවේෂණය කරන ලෙස කෝප් සභාපතිවරයා විශ්වවිද්‍යාල බලධාරීන්ට උපදෙස් දුන්නේය. එසේම මෙම ගැටලු විසදීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් සම්පාදනය කර සමාලෝචනය සඳහා ඉදිරිපත් කරන ලෙස විශ්වවිද්‍යාලයට නියෝග කළේය.
විමර්ෂණයෙන් පසු කෝප් කමිටුව පහත නිර්දේශ ද ලබා දෙන ලදී.
- ඉදිකිරීම් සමාගමකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කිරීම සහ සති 02ක් ඇතුළත ඒ පිළිබදව තත්ත්වය වාර්තා කිරීම
- ශ්‍රවණාගාරයක තත්ත්වය සම්බන්ධයෙන් මාස 03ක් ඇතුළත වාර්තා කිරීමක් සිදු කිරීම
- මුදල් අමාත්‍යාංශය සමඟ එක්ව කටයුතු කොට භාවිතයට නොගත් ශිෂ්‍යත්ව අරමුදල් සම්බන්ධයෙන් මාස 03 ක් ඇතුළත දැනුම් දීම
- අදාළ ගිවිසුම් කඩකිරීම් සම්බන්ධයෙන් අයකර ගැනීම් නිරාකරණය කර ගැනීම සඳහා සති 02ක් ඇතුළත වාර්තා කිරීම
- ආපනශාලාවක් ඉදිකිරීම සඳහා ගිවිසුම්ගත සමාගමක් සමඟ අන්‍යෝන්‍ය වශයෙන් අවසන් කිරීමේ ගිවිසුමක් කඩිනමින් අත්සන් කිරීම
විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ප්රගමනය සඳහා ශ්‍රී ලංකාවේ අනෙකුත් විශ්වවිද්‍යාල සඳහා අනුගමනය කළ යුතු ජාතික ප්‍රතිපත්ති රාමුවක් සම්පාදනය කිරීමට මැදිහත්වන ලෙසට ද කෝප් සභාපතිවරයා විශ්ව විද්‍යාල පාලනාධිකාරියට දැනුම් දුන්නේය.
