ජපානයේ අවුරුදු 100ට වැඩි ජනගහනය 100000 ඉක්මවයි
ජපානයේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, එරට වයස අවුරුදු 100 හෝ ඊට වැඩි පුද්ගලයින් සංඛ්‍යාව පළමු වරට 100,000 ඉක්මවා ගොස් ඇත.දත්තවලට අනුව, ලොව වැඩිම ශතවර්ෂිකයන් (වයස අවුරුදු 100 හෝ ඊට වැඩි පුද්ගලයින්) සංඛ්‍යාවක් සිටින රට වන්නේ ජපානය වන අතර, එම සංඛ්‍යාව 107,677 ක් දක්වා වර්ධනය වි තිබේ.
ඉන් 88%ක්ම කාන්තාවන්ය. වයසින් වැඩිම කාන්තාව වන්නේ කියෝතෝ නගරයේ පදිංචි 114 හැවිරිදි කිෂිමොටෝ ෆුයෝ වන අතර, වයසින් වැඩිම පිරිමියා වන්නේ කුමමොටෝ හි පදිංචි 112 හැවිරිදි කටෝ හිකාරු ය.
වෛද්‍ය විද්‍යාව සහ තාක්ෂණයේ දියුණුව හේතුවෙන් "මෙතරම් විශාල පිරිසක් දිගු, නිරෝගී සහ ක්‍රියාශීලී ජීවිතයක් ගත කිරීම පිළිබඳව තමන් සතුටට පත්වන" බව සෞඛ්‍ය අමාත්‍ය කෙනිචිරෝ උවෙනෝ පැවසීය.
කෙසේ වෙතත්, තිරසාර සමාජ ආරක්ෂණ පද්ධතියක් පවත්වාගෙන යාමේදී රටට මුහුණ දීමට සිදුවන අභියෝගය පිළිබඳව ද කෙනිචිරෝ අනතුරු ඇඟවීය.
ජපන් ජාතිකයින්ගේ මෙම දීර්ඝායුෂ භුක්ති විඳීමට හේතුව ලෙස විශේෂඥයින් පෙන්වා දෙන්නේ නිරෝගී ආහාර රටාවක් සහ ක්‍රියාශීලී ජීවන රටාවක් වැනි සාධක කිහිපයකි.
මෙම දූපත් රාජ්‍යයේ ආහාර වේල ප්‍රධාන වශයෙන් මාළු, එළවළු සහ සහල්වලින් සමන්විත වන අතර, බොහෝ බටහිර ආහාර රටාවලට සාපේක්ෂව එහි අඩංගු සංතෘප්ත මේදය (saturated fat) ප්‍රමාණය අඩුය.
එසේම, වැඩිහිටියන් නිතිපතා ඇවිදීම, පොදු ප්‍රවාහන සේවා භාවිතය, පාපැදි පැදීම සහ ශරීරය නම්‍යශීලී කරන ව්‍යායාම (stretching) සිදු කිරීම වැනි ක්‍රියාකාරකම්වල නිරත වෙති.
ජපානය වසර ගණනාවක් පුරා වයස්ගත වෙමින් පවතින අතර, දශකයකට වැඩි කාලයක් තිස්සේ එරට තුළ ළදරුවන් සඳහා වන ඩයපර් (nappies) අලෙවියට වඩා වැඩිහිටියන් සඳහා වන ඩයපර් අලෙවිය ඉහළ මට්ටමක පවතී.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

