ලබන වසරේ මාර්තු පමණ වනවිට පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ මහතා මීළඟ ජනාධිපතිවරයා වශයෙන් පත්කර ගැනීම පිනිස දේශපාලන පක්ෂ කිහිපයක සහාය ලැබෙන බවත් රට ගොඩනැගීමට හැකි එකම නායකයා වත්මන් ජනාධිපතිවරයා බවත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ගම්පහදී පැවසීය.
එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ ආසන බලමණ්ඩල රැස්වීම ආසන සංවිධායක වරුණ රාජපක්ෂ මහතාගේ සංවිධානත්වයෙන් පැවති අවස්ථාවට සහභාගි වෙමින් නියෝජ්‍ය නායකවරයා තවදුරටත් ප්‍රකාශ කර සිටියේ, ජනාධිපතිවරණයෙන් පසුව මහමැතිවරණයක් එනු ඇති බවත් එම මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂ රජයක් බිහි කිරීම පිනිස මේ වනවිට පක්ෂ ගණනාවක් සහ පක්ෂය හැර ගිය විශාල පිරිසක් යළි එක්සත් ජාතික පක්ෂය සමග එක් වෙමින් සහ එක්වීමට සූදානමින් සිටින බවත්ය.
ඉදිරියේදී වැඩි පක්ෂ සංඛ්‍යාවක් එක්ව රට සාර්ථකව ඉදිරියට ගෙන යාමට සහාය ලබා දීම සිදුවන බව සදහන් කළ රුවන් විජයවර්ධන මහතා , මේ රට පත්ව ඇති තත්ත්වයෙන් ගොඩගත හැකි එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බව මේ වනවිට පෙන්වාදී ඇතැයි ද කී අතර වික්‍රමසිංහ මහතාගේ දර්ශනය ඉදිරියට ගෙන යාම පිනිස පටු පක්ෂ භේද ඉවතලා අත් වැල් බැඳ ගනිමු යැයිද කීය.
මෙහිදී පක්ෂයේ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා අදහස් දක්වමින්, වෙනස් වෙමින් පවතින ලෝකයට යොමු විය හැක්කේ එක්සත් ජාතික පක්ෂ නායකත්වය යටතේ පමණක් වන බැවින් දක්ෂ ,නිර්මාණශීලී පිරිස් එක්සත් ජාතික පක්ෂය වටා රොක් වෙමින් සිටින බව පැවසීය.
පක්ෂයේ මහ ලේකම් - රංගේ බණ්ඩාර මහතා :- " මේ වන විට රටේ පැවති තත්ත්වය වෙනස්වී සැබෑ වෙනසක් සිදු වෙමින් පවතින බැවින් මීළඟ මැතිවරණය යුතුකමේ ඡන්දයක් බවට පත් විය යුතුයි."
තිලකරත්න දිසානායක