රට වර්තමානයේ පවතින අර්බුදකාරී තත්ත්වයෙන් තවදුරටත් ඇද වැටීමට ඉඩලබානොදී අන්තර්කාලීන සර්වපාක්ෂික ආණ්ඩුවකට රට භාරදීම කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අවධාරණය කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
එමෙන්ම රට පාලනය කිරීම සඳහා තවදුරටත් ජනතාවගේ සහයෝගයක් නොමැති බවද ජනාධිපතිවරයාට තරයේ පවසා සිටින බවද අද (19දා) කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම සඳහන් කළේය.
දේශීයව මෙන්ම ජාත්‍යන්තර විශ්වාසයක් නොමැති ආණ්ඩුවක් හරහා සිදු වන්නේ රට තවදුරටත් වළපල්ලට යෑමක් වන බැවින් සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සිදු කළ යුතු බව සඳහන් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා,
"දැන් ඉතාමත් පැහැදිලිව පේනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට තවදුරටත් මේ රට කරගෙන යන්න හැකියවක් නැති බව. ඒ නිසා සමාජය දැන් ඉල්ලන්නේ කරුණාකරලා ජනාධිපතිවරයා ලෙස ඔබ මේ තනතුරෙන් ඉවත්වෙලා සර්වපාක්ෂික ආණ්ඩුවක් හරහා මේ රට ගොඩගන්න අවස්ථාව දෙන්න කියලා.
මෙය කාලයක් තිස්සේ ජනතාවගේ ඉල්ලීම වුණාට රාජපක්ෂ පවුලට මේ බලය අතහැර යන්න බැරිකමක් තියෙනවා කියලා තමයි අපිට පේන්න තිබෙන්නේ. නමුත් එක පවුලක් නිසා පවුල් ලක්ෂ 50කට කන්න නැති තත්ත්වයක් උදා වෙලා තිබෙන බව අපි කවුරුත් දන්නවා. ඒ නිසා කාරුණිකව නැවතත් අපි ගෝඨාභය රාජපක්ෂ මහතාට තරයේ කියා සිටිනවා ඔබට තවදුරටත් මේ රට පාලනය කිරීමට ජන සහයෝගයක් නැති බව.
ඔබ මෙතෙක් ගත්තා වූ සියලු තීරණ අසාර්ථක වී තිබෙන බව ජනාධිපතිවරයා තේරුම්ගත යුතුයි. මේ රට මෙතනින් තවත් පහළට වැටෙන්න දෙන්නේ නැතිව බේරගෙන ගොඩගන්න එක මේ රටේ දේශපාලනය කරන සියලුදෙනාගේ වගකීම බවත් අවධාරණය කරන්න කැමතියි. ඒ නිසා තමයි සර්වපාක්ෂික, කෙටිකාලීන අන්තර්පාලන ක්‍රියාවලියක් හරහා ඔබගේ ඉවත්වීමෙන් මේ රට ගොඩගන්න හැකියාව සහ අවස්ථාව සර්ව පාක්ෂික ආණ්ඩුවකට ලබාදෙන්න කියන එක තමයි මූලික වශයෙන්ම අපිට කියන්න තිබෙන්නේ.
මේ ආණ්ඩුව සම්පූර්ණයෙන්ම අසාර්ථකයි. 21වැනි ව්‍යවස්ථාව ගේන පාටකුත් නෑ. ඒ වගේම ලබාදුන් පොරොන්දු රනිල් වික්‍රමසිංහ රජයට ඉටු කරන්න පුළුවන් කියලා විශ්වාස කරන්නත් බෑ. ජාත්‍යන්තර මාධ්‍යයට ගෝඨාභය රාජපක්ෂ මහතා කියනවා ඔහු දිගටම ඉන්නවා කියලා. තමන්ට අවශ්‍ය තැන්වලින් කට්ටිය අරගෙන නිර්පාක්ෂික කියලා මොකක්ද එකක් හදාගෙන තිබෙනවා.ඒක විසඳුමක් නෙවෙයි.
නැවත නැවතත් අපි කියන්නේ මෙතනින් ඉවත්වෙලා අන්තර්කාලීන සර්ව පාක්ෂික ආණ්ඩුවක් තුළින් මේ ආර්ථික, සමාජ, දේශපාලන අර්බුදයෙන් ගොඩඑන්න නිශ්චිත කෙටිකාලීන අවම වැඩපිළිවෙළකට යන්න අවශ්‍යයි. එතන තමයි අපිට පේන විදියට ජාත්‍යන්තර සහ දේශීයව විශ්වාසයක් ගොඩනැගෙන්නේ රජයට. දේශීය විශ්වාසයක් නැතිව කිසි දෙයක් කර ගන්න බෑ. අපේ මිනිස්සුන්ට අපේ ආණ්ඩුව ගැන විශ්වාසයක් තියෙන්න ඕන. කිසිකෙනෙක්ට ආණ්ඩුව කෙරෙහි, ජනාධිපතිවරයා ගැන විශ්වාසයක් නෑ.
රටක එහෙම පිළිගැනීමක් නැතිව ආණ්ඩුවකට යන්න පුළුවන් කමක් නෑ. ඒ වගේම ජාත්‍යන්තරය පිළිගැනීමක් නෑ. දේශීයව පිළිගැනීමකුත් නැතිනම් ජාත්‍යන්තර පිළිගැනීමකුත් නැති නම් මේ රට වළපල්ලටම තමයි යන්නේ. කරුණාකරලා ජාත්‍යන්තර පිළිගැනීමක් ලබාගන්න පුළුවන් කෙටිකාලීන අන්තර්කාලීන සර්ව පාක්ෂික ආණ්ඩුවක් යටතේ අවම වැඩපිළිවෙළකට යන්න. ඉන්පසු අවශ්‍ය නම් ඡන්දයකට යන්න. ඒක තමයි අපේ දැඩි මතය" යනුවෙන් සඳහන් කළේය.