මේ දිනවල පැවැත්වෙන ජනාධිපති වරයාගේ රාජ්‍ය ආයතන සංචාර, ඒ ඒ ආයතන වලට අමුතු වැය බරක් උද්ගතවන මාධ්‍ය සංදර්ශයනයක් පමණක් වී ඇති බව සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමය පවසයි.
දුම්රිය දෙපාර්තමේන්තුවේ රත්මලාන ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු උප දෙපාර්තමේන්තුවේ කර්මාන්ත ශාලා කිහිපයක් පසුගියදා ජනපතිවරයාගේ අවධානයට ලක්කර ඇත. ජනපතිවරයා පැමිණිමට පෙර සති කිහිපයක සිට, අනිකුත් සියළු වැඩ පසෙකලා ජනාධිපති වරයාගේ අවධානය යොමු වන ආකාරයට රත්මලාන භූමිය පිළිසකර කිරීමට නිලධාරීන් උත්සුක වූහ.
ඒ සඳහා සේවකයින් යොදවා විශාල මුදලක් වැයකර ඇත. ඉදිරි දිනක එනම් මාර්තු 15 දින නැවත දුම්රිය දෙපාර්තමේන්තුවේ ධාවනබල උප දෙපාර්තමේන්තුවේ මාලිගාවත්ත වැඩ භූමියට ජනාධිපතිවරයා පැමිණීමට නියමිතව ඇත. ඒ වෙනුවෙන් මාලිගාවත්ත වැඩ භූමිය පිළිසකර කිරීම ලහි ලහියේ සිදුවේ.
අනෙකුත් සාමාන්‍ය රාජකාරී කටයුතු පසෙකලා අත්‍යවශ්‍ය රාජකාරී කටයුත්තක් ලෙස සලකා වෙනත් අංශ වල සේවකයින්ද ගෙන්වා ගෙන සේවයේ යොදවා ඇත. ධාවන බල සමාජ ආයතනයේ වහලය ගලවා අලූමීනියම් මැක් ෆොයිල් යොදා වහලය සැකසීම පවා සිදුකරමින් ඇත. මේ සඳහා දෙපාර්තමේන්තුව අති විශාල මුදලක් වැය කරමින් ඇත.
දුම්රිය භූමියේ පැයකටත් අඩු කාලයක් ගත කිරීමට ජනාධිපතිවරයාගේ සංචාරය වෙනුවෙන් වැය කරන මුදල සහ ශ්‍රමයේ වටිනාකම අති විශාලය. දින ගණනාවක් තිස්සේ ජනාධිපති වරයාගේ අති විශාල කාර්ය මණ්ඩලයේ පිරිස වෙනුවෙන් ද දරණ වියදම අති විශාලය. රට මහා අර්බුදයකට පත්කර ඇති මොහොතක, ජනාධිපති වරයාගේ සංචාර වෙනුවෙන් මේ වැය කරන්නේ දුක් විඳින ජනතාවගේ මුදල්ය.
දුම්රිය නිවාස වල, වහලයේ සිදුරු අතරින් වැහි වතුර ගෙය තුලට ගලා එමින් ඇත. දුම්රිය සේවකයාට සුබසාධනයක් නැත. පිරිසිදු වැසිකිලි පද්ධතියක් නැත. ඔවුනට සෞඛ්‍ය තත්වයක් නැත. වැඩකරන සේවකයාට රාජකාරි කිරීමට අවශ්‍ය පසුබිමක් නැත. තාක්ෂණ ශිල්පියාට නවීන තාක්ෂණ උපකරණ නැත. පිරිසිදු කිරීමට සේවකයින් නොමැති කමින් දුම්රිය අංගන වනාන්තර බවට පත්වී ඇත. සේවක උසස්වීම වසර ගණනාවකින් නැත. ආපදා ණය මුදල නැත. සේවකයින්ට ඇඳුමක් මාරුකර ගැනීමට සුදුසු ස්ථානයක් නැත. මේ සියළු දුක්ඛ දෝමනස්සයන් හමුවේ සේවකයින් වැඩ කරමින් ඉන්නේ අනේක විධ පීඩාකාරි තත්වයන් යටතේ ය. එහෙත් ජනාධිපති සංචාර වලදි එවැනි තත්වයක් නොපෙනෙන පරිදි ආයතන උඩු යටිකුරු කිරීමට නිලධාරීන් පෙළඹී ඇත.
අතීතයේ දී රජවරු වීදි සංචාර වල යෙදී ඇත. එහෙත් ඒ රජ කියා කිසිවෙකුට නොදැනෙන ලෙස වෙස් වලගෙනය. ජනතාව ජීවත්වන තත්වය රටේ පවතින වතාවරණය, තමන්ගේ පාලනය ගැන ජනතාවගේ අදහස් අවබෝධ කොට ගන්නේ එවැනි සංචාර තුලින්ය. වර්තමානයේ එය එසේ ප්‍රායෝගික නැතත්, කිසිවෙකු නොදන්නා පරිදි රහසිගතව රාජ්‍ය ආයතනයකට යාමට ජනාධිපති වරයාට හැකිය. එසේ නොකර සැලසුම් කරන ලද ජනපති සංචාරයකින් සිදුවන්නේ ඩෙංගු මදුරු මර්ධනය කිරීමක් පමණි.
පෙර සැලසුම් සහගතව, මාධ්‍ය සමග ගොස් සිදුකරන රාජ්‍ය ආයතන සංචාර වැඩකට නැති අර්ථ ශුන්‍ය මධ්‍ය සංදර්ශන පමණක් වන බවද සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමය සඳහන් කළේය.