ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රතිපත්ති ප්රකාශය ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට දුන්න හොඳ කනේ පහරක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.
ජනාධිපතිවරයාගේ ප්රතිපත්ති ප්රකාශය පිළිබඳ දෙවැනි දිනටත් අද (10දා) පාර්ලිමේන්තුවේ පැවති සභාව කල් තැබීමේ විවාදයට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්ත්රී එස්.එම්.මරික්කාර් මහතා,
ජනාධිපතිතුමාගේ ප්රතිපත්ති ප්රකාශය අහන් ඉන්නකොට අපිට දැනුනු දෙයක් තමයි අපි අවුරැදු ගාණක් පෙනී හිටපු වාද කරපු, විශ්වාස කරන ආර්ථික දර්ශනය තමයි ඉදිරිපත් කළේ. ඒ පිළිබඳව අපි එතුමාට ස්තූතිවන්ත වෙනවා සහ අපි ඒකට එකඟ වෙනවා. ඒක තුළ අපිට විශාල ප්රශ්න කිහිපයකුත් මතුවෙනවා. මේ ආර්ථික දර්ශනය ඉදිරිපත් කරනකොට පසුගිය කාලේ වෘත්තීය සිමිති උසිගන්වපු පොහොට්ටුවේ අය මේක පිළිගන්නවාද කියලා මේ සභාවට දැනුම් දෙන්න ඕනී. රනිල් වික්රමසිංහ මහතාගේ රාජාසන කතාවේදී කිව්වා මේ රටෙන් ජාතිවාදය තුරන් කරලා දානවා කියලා. එතුමත් අපිත් පෙනී සිටියේ ඒක වෙනුවෙන්. ඒ අනුව මේ රටේ ජාතිවාදය ඇති කරලා කැළණියේ නයි නටවලා , වඳ කොත්තු, වඳ දොස්තරලා මවාපාලා ජාතිවාදය සම්පූර්ණයෙන්ම ගෙනියම පොහොට්ටුවේ කට්ටිය රනිල් වික්රමසිංහ මහතාගේ ජාතිවාදය නැති කිරීමේ ප්රතිපත්තියට එකඟද කියලා අපි අහනවා.
ජනාධිපතිතුමා කිව්වා අවුරැදු දෙකක් රට ආපස්සට ගියා කියලා. අපි පසුගිය අවුරැදු දෙකේම ගෝඨාභය රාජපක්ෂ මහතා ප්රමුඛ පොහොට්ටු කණ්ඩායම පොහොර තහනම් කරලා, පෝලිම් ඇති කරලා, බෙහෙත් නැති කරලා ජනතාව පත් කරපු තත්ත්වය ගැන අපි කිව්වා. ඒ වෙලාවේ පොහොට්ටුවේ අය අපිට කෝචොක් කළා. දැන් ජනාධිපතිතුමා කියනකොට ඒක පිළිගන්නවාද කියලා අපි අහනවා. ඇත්තටම ජනාධිපතිතුමාගේ රාජාසන කතාව පොහොට්ටුවේ අයට දුන්න හොඳ කනේ පහරක් කියලා මම පැහැදිලිවම කියන්න ඕනී, යනුවෙන් සඳහන් කළේය.