ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට උදවු කරනුයේ දේශපාලනයට වඩා රට ගැන හිතලයි...
රට නැවත සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් තියෙන මේ මොහොතේදී ජනාධිපතිවරයාගේ කකුලෙන් ඇඳීමට ඇතමුන් ගන්නා උත්සාහයට ඉඩදෙන්න බැහැ...
ආර්ථික අර්බුධ විසඳාගෙන ලබන වසරේදී ජනතාවට සහන ලැබේවි...
සහල් ඒකාධිකාරය තමන් යටතට ගත්තු ව්‍යාපාරිකයන් පිරිසක් රිසිසේ ආණ්ඩු හසුරුවනවා...
සහල් ඒකාධිකාරය නැති කරන්න සුළු සහල් නිෂ්පාදකයන් ශක්තිමත් කළ යුතුයි....
මේ මොහොතේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට උදවු කරනුයේ දේශපාලනයට වඩා රට ගැන සිතා බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
අමාත්‍යවරයා පවසන්නේ රට නැවත සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් තියෙන මේ මොහොතේදී ජනාධිපතිවරයාගේ කකුලෙන් ඇඳීමට ඇතමුන් ගන්නා උත්සාහයට ඉඩ දිය නොහැකි බවයි.
එමෙන්ම ආර්ථික අර්බුධ විසඳාගෙන ලබන වසරේදී ජනතාවට සහන ලැබෙනු ඇතැයිද අමාත්‍යවරයා පෙන්වා දෙයි.
මරඳගහමුල සුළු සහ මධ්‍යම පරිමාණයේ සහල් ව්‍යාපාරයෙහි නිරත ව්‍යපාරිකයන් වෙනුවෙන් ඉදිකර වසර නවයකට ආසන්න කාලයක් අත්හැර දමා තිබූ සහල් තොග වෙළඳ මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (19) මේ බව සඳහන් කළේය.
පුද්ගලික අංශය සතුව පවතින මෙරට සහල් ඒකාධිකාරිය බිඳ දැමීමේ අරමුණින් මෙම ධන්‍යාගාර සංකීර්ණය හා තොඟ වෙළඳ මධ්‍යස්ථානය ඉදිකරනු ලැබුවේ හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසිනි. ඒ 2014 වසරේදී ක්‍රියාත්මක කරනු ලැබූ දිවිනැඟුම ව්‍යාපෘතිය මගිනි.
නමුත් යහපාලන රජය යටතේ 2015 වසරේදී මෙම සහල් ගබඩා සංකීර්ණය අහෝසිකරනු ලැබිණ. ඒ සමඟම පසුගිය වසර නවයක කාලය පුරාම මෙම ධන්‍යාගාර සංකීර්ණය හා තොඟ වෙළඳ මධ්‍යස්ථානය වල් බිහි වෙමින් තිබුණි.
ඒ අනුව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ මැදිහත්වීමෙන් මෙම ගබඩා සංකීර්ණය නැවත පිළිසකර කෙරිණ. මරඳගහමුල ධන්‍යාගාර සංකීර්ණය හා තොඟ වෙළඳ මධ්‍යස්ථානයේ සියලුම වැඩ කටයුතු කඩිනමින් අවසන් කිරීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් ඉල්ලා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් මෙම වසරේදී අමාත්‍ය මණ්ඩල පත්රිකාවක්ද ඉදිරිපත් කර තිබුණි.
මරඳගහමුල ධන්‍යාගාර සංකීර්ණය හා තොඟ වෙළඳ මධ්‍යස්ථානය පිහිටි ඉඩම අක්කර දෙකක පමණ විශාලත්වයකින් යුතුය. වෙළඳ කුටි 115 කින් පමණ සමන්විත මෙය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 459 මුදලක් වැයවී තිබේ.
රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මෙහි සම්පූර්ණ ඉදිකිරීම් කටයුතු සිදුකර ඇත. ගබඩා සංකීර්ණයේ වී මෙට්ට්‍රික් ටොන් 75,000ක් පමණ ගබඩා කිරීමට පහසුකම් ඇත.