ශක්තිමත් රටක් ගොඩ නැගීමට නම් සියලුම දෙනා ශ්‍රි ලාංකිකයන් ලෙස එක්ව ඉදිරියට යා යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
රට තුළ ස්ථාවර ආර්ථිකයක් ගොඩ නැගීම සහ ජනවාර්ගික ප්‍රශ්ණයට විසඳුම් සෙවීම අද රට හමුවේ ඇති ප්‍රධාන වගකීම බවත්, කුමන පක්ෂයක් නියෝජනය කලද එම අරමුණු ඉටු කර ගැනීම වෙනුවෙන් තමන් සමග එක්වන ලෙස සියලුම දේශපාලන පක්ෂවලට නැවත වරක් තමා ආරාධනා කරන බවද හෙතම කීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කරන ලද්දේ ගුරුතලාව මුස්ලිම් ජාතික පාසලේ සියවස් සැමරුම් උත්සවයට අද (27) එක් වෙමිනි.
"රටේ දරුවන්ට හොද අනාගතයක් ගොඩ නගාදීමට නම් රජය ආරම්භ කර තිබෙන වැඩපිළිවෙල ශක්තිමත්ව ඉදිරියට ගෙන යා යුතුයි. මේ වනවිට ඒ සඳහා ලෝකයේ අනෙකුත් රටවල සහාය ලැබී තිබෙනවා. මේ වැඩපිළිවෙල තුළ අපි ඉදිරියට ගමන් කලහොත් නියත වශයෙන්ම රට තුල ස්ථාවර ආර්ථියක් ඇති කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ සමග රටේ අනෙකුත් ප්‍රශ්ණවලට ද විසඳුම් ලැබෙනවා.
ඒ නිසා රටේ ආර්ථිකය ගොඩනැගීමට අපට සහාය ලබා දෙන්න කියා දේශපාලන පක්ෂ ඇතුළු සියලුම දෙනාගේ මම ඉල්ලා සිටිනවා. නමුත් අප බලාපොරොත්තු වු ප්‍රතිචාරය ලැබී නැහැ. අද මේ රටේ විසදා ගත යුතු ප්‍රධාන ප්‍රශ්ණ දෙකක් තිබෙනවා. කුමන පක්ෂයකට අයත් වුවත් එම ප්‍රශ්ණ විසදා ගැනීමට අපත් සමග එක්වන ලෙස සියලුම දෙනාගෙන් නැවත ඉල්ලා සිටිනවා.
පලමු කරුණ තමයි රට තුළ ස්ථාවර ආර්ථිකයක් ගොඩ නැගීම. දෙවැනි කරුණ වන්නේ රටේ ජනවාර්ගික ප්‍රශ්ණයට විසඳුම් සෙවීම. රටක් ඉදිරියට ගෙන යාමට නම් රටේ හොද ආර්ථිකයක් තිබිය යුතුයි. ඒ වගේම එක්සත් ජනාතාවක් සිටිය යුතුයි. එසේම ශ්‍රී ලාංකික අන්‍යතාවය තහවුරු විය යුතුයි.
සිංහල, දෙමල, මුස්ලිම් කුමන ජාතියකට අයත් වුවත් සියලුම ජනතාව ශ්‍රි ලාංකිකයන්. අද අප රටේ බහුතරයක් සිටින්නේ සිංහල ජනතාව. සිංහල අන්‍යතාවය, ආගම සහ සංස්කෘතිය ආරක්ෂා කර ගනිමින් ඉදිරියට යාමට අප කටයුතු කරනවා. එහෙදී කිසිවිටකවත් අනෙකුත් ජාතීන්ට හෝ ආගමිකයන්ට මදිපුංචිකම් සිදු නොවිය යුතුයි. රටේ සියලුම ජන කොටස්වල අයිතිවාසිකම ආරක්ෂා කළ යුතුයි. සියලුම දෙනා ශ්‍රී ලාංකිකයන් ලෙස ඉදිරියට ගියහොත් පමණයි ශක්තිමත් රටක් ගොඩනැගිය හැකි වන්නේ" යයි කීය.