රුවන්ඩාවේ කිගාලි නුවරදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව (CHOGM) සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් සහභාගී වෙයි. රුවන්ඩාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට පොදුරාජ්‍ය මණ්ඩලයේ සාමාජික රටවල් පනස් හතර (54) සහභාගී වේ.
සමුළුව ජුනි 21 දා සිට 25 දා තෙක් පැවැත්වෙයි. පොදුරාජ්‍ය මණ්ඩලයීය ප්‍රධානී II වැනි එලිසබෙත් මහ රැජින නියෝජනය කරන වේල්ස් කුමරුන්ගේ සහභාගීත්වයෙන් යුතුව ජුනි 24 වැනි දින රුවන්ඩාවේ ජනාධිපති පෝල් කගාමේ මහතා විසින් පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව සමාරම්භ කරනු ලැබේ. මෙය 2022 ජුනි 24-25 දිනවල පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය ප්‍රධානීන්ගේ ඉහළ මට්ටමේ රැස්වීම්වලින් අනතුරුව සහ ජුනි 23 වන දින පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය විදේශ කටයුතු අමාත්‍යවරුන්ගේ රැස්වීමට (CFAMM) පෙරාතුව පැවැත්වේ.
2022 පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ තේමාව වන්නේ “පොදු අනාගතයක් ලබා දීම: සම්බන්ධ කිරීම, නවෝත්පාදනය සහ පරිවර්තනය” යන්නයි. “ප්රජාතන්ත්රවාදය, සාමය සහ පාලනය”, “තිරසාර සහ සියල්ල ඇතුළත් සංවර්ධනය” සහ “පශ්චාත් කොවිඩ්-19 ප්‍රතිසාධනය” යන තේමා ක්ෂේත්‍ර තුන යටතේ ඉහළ මට්ටමේ සාකච්ඡා සඳහා විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා සහභාගී වනු ඇත.
පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව, අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු සාකච්ඡා කිරීම සඳහා, විදේශ අමාත්‍යවරයා විසින් යුරෝපය, ආසියාව සහ අප්‍රිකාව යන පොදු රාජ්‍ය මණ්ඩලයීය සාමාජික රටවල් කිහිපයක් සමඟ විදේශ අමාත්‍ය මට්ටමින් ද්විපාර්ශ්වික රැස්වීම් පැවැත්වීමට ද අපේක්ෂා කෙරේ.
ශ්‍රී ලංකාව පොදුරාජ්‍ය මණ්ඩලයේ ආරම්භක සාමාජිකයන් 8 දෙනා අතර වන අතර, 23 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව 2013 නොවැම්බර් මාසයේ කොළඹ දී පැවැත්විණි. රුවන්ඩාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව 2020 ජුනි මාසයේ දී පැවැත්වීමට නියමිතව තිබූ නමුත්, කොවිඩ්-19 වසංගතය හේතුවෙන් එය දෙවරක් කල් දමන ලදී.