නව අග්‍රාමාත්‍යවරයෙකු සහ අමාත්‍ය මණ්ඩලයක් ශ්‍රී ලංකාව මේ වන විට පත්කරගෙන සිටින අතර, ඉදිරි ගමන පිළිබඳව ජාතික සම්මුතියක් ඇති කර ගැනීම සඳහා පාර්ලිමේන්තුව තුළ අඛණ්ඩව සාකච්ඡා කරමින් සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ජපානයේ ටෝකියෝ හි පැවැත්වෙන “ආසියාවේ අනාගතය පිළිබඳ 27 වන ජාත්‍යන්තර සමුළුව” (Nikkei) අද (26) වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.
ජපානයේ “නික්කෙයි” (Nikkei) පුවත්පත 1995 වසරේ සිට වාර්ෂිකව සමුළුව සංවිධාන කරයි. දෙදිනක් පුරා පැවැත්වෙන සමුළුවේ මෙවර තේමාව “බෙදීගිය ලෝකයක ආසියාවේ භූමිකාව නැවත අර්ථ දැක්වීම” යන්නයි.
ශ්‍රී ලංකාව ආසියාවේ පැරණිතම ප්රජාතන්ත්රවාදී රාජ්‍යයකි. වර්තමාන ජාතික අර්බුදයට විසඳුම් එම ප්රජාතන්ත්රවාදී රාමුවෙන්ම ක්‍රියාත්මක වීම ඉතා වැදගත් බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.
කොවිඩ් - 19 වසංගතය හේතුවෙන් සංචාරක ව්‍යාපාරය අඩපණ වීම, විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ප්‍රේෂණවල පහත වැටීම, දරුණු මූල්‍ය අර්බුදයක් ඇතිවීම සහ ශ්‍රී ලංකාවේ ඉහළ ණයබර සමග ඒකාබද්ධ වූ අනෙකුත් සිදුවීම් හේතුවෙන් උද්ධමනය සිදු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සුදුසු වැඩසටහනක් වෙත යොමුවීමට සමගාමීව අපගේ ණය හිමියන් සමග සාකච්ඡා කර බාහිර රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අභිප්‍රාය ඇතිව ශ්‍රී ලංකාව අප්‍රේල් මාසයේ දී “ණය ගෙවීමෙන් නැවතී සිටීමක්” නිවේදනය කළේය.
කෙසේ වෙතත්, මෙවැනි විසඳුම් හරහා කටයුතු කරන විට අත්‍යාවශ්‍ය ඖෂධ, ආහාර සැපයුම් සහ ඉන්ධන ආනයනය වැනි අවශ්‍යතා සපුරාලීම සහතික කිරීමට මිත්‍ර රාජ්‍යවල සහාය ශ්‍රී ලංකාවට කඩිනමින් අවශ්‍ය බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජපානය ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංවර්ධන හවුල්කරුවෙකි. ජපානයෙන් අරමුදල් සැපයීම සම්බන්ධයෙන් මේ වන විට පැවැත්වෙන සාකච්ඡා කඩිනමින් අවසන් වනු ඇතැයි බලාපොරොත්තු වේ. ශ්‍රී ලංකාවේ ආර්ථික සහ සමාජීය ස්ථාවරභාවය සඳහා දරණ උත්සාහයට ජපානයේ සහාය හිමිවනු ඇතැයි ජනාධිපතිතුමා විශ්වාසය පළ කළේය.
මෙම දුෂ්කර අවස්ථාවේ ශ්‍රී ලංකාවට ලබාදිය හැකි සහාය සොයා බලන ලෙස සමුළුවට එක්ව සිටින සියලු මිත්‍ර රාජ්‍යයන්ගෙන් ජනාධිපතිවරයා ඉල්ලා සිටියේය.
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින බරපතල දුෂ්කරතාවන්, කොවිඩ් - 19 වසංගතයේ දිගුකාලීන බලපෑම් පිළිබඳ පූර්ව ඇඟවීමකි. එය යුරෝපයේ පවතින ගැටුමෙන් වඩාත් දරුණු අතට හැරී තිබේ. කලාපීය මෙන්ම ගෝලීය ස්ථාවරත්වය පවත්වාගෙන යාම සඳහා එවැනි අවධානමට ලක්විය හැකි රටවලට මෙම දුෂ්කර කාලසීමාවේ දී සහාය වීම අත්‍යාවශ්‍ය බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.
අනාගතයේ දී ආහාර සුරක්ෂිතතාව සම්බන්ධව ලෝකය මුහුණ දෙන වඩාත් පුළුල් ගැටලුවක් පැන නැගෙයි. ඉදිරි මාස කිහිපය තුළ ඇති විය හැකි ආහාර ද්‍රව්‍යවල හිඟය සහ ආහාරවල මිලෙහි තියුණු වැඩිවීම් බොහෝ රටවලට සැලකිය යුතු පීඩනයක් එල්ල කරනු ඇත.
එබැවින් මෙම තීරණාත්මක ගැටලු කෙරෙහි අවධානය යොමු කිරීම සහ දේශීය කෘෂිකාර්මික නිෂ්පාදනයට ප්‍රමුඛත්වය දීම මෙන්ම එළැඹෙන ගැටලුව හමුවේ අපගේ ප්‍රත්‍යස්ථතාව වැඩිදියුණු කිරීම අත්‍යාවශ්‍යය. මෙම ගැටලු ජයගැනීම සහතික කිරීම සඳහා ජාතීන් අතර සහයෝගීතාව වැඩි කිරීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
