අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් හරහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අමාත්‍ය ධුරයක් සහ රාජ්‍ය අමාත්‍ය ධුරයක් ජනාධිපතිවරයා විසින් ලබා දීම සම්බන්ධයෙන් පක්ෂයක් ලෙස දැඩි විරෝධයක් පවතින බවත්, ඒ අනුව ජනාධිපතිවරයාට සහාය දැක්වීම පිලිබඳ අවශ්‍ය වුවහොත් ඉදිරියේදී තීරණයක් ගත යුතුව ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවධාරණය කරයි.
එහි ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කර සිටියේ රජය පවත්වාගෙන යාම සඳහා පාර්ලිමේන්තුව තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ශක්තියක් ලබා දෙනුයේ බහුතර සංඛ්‍යාවක් නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි මන්ත්‍රීන් වන බවයි. ඒ අනුව මන්ත්‍රීවරුන් 05 දෙනෙකු පමණ නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අමාත්‍ය ධුර ලබා දීමට ජනාධිපතිවරයා කටයුතු කිරීම වැරදි සහ අදූරදර්ශී තීරණයක් වන බවට ඔහු චෝදනා කළේය.
එසේම ඒ සම්බන්ධයෙන් පක්ෂයක් ලෙස ජනාධිපතිවරයා දැනුම්වත් කිරීමට කටයුතු කළ බවත්, ඔහුගේ තීරණය සම්බන්ධයෙන් පක්ෂය දැඩි කලකිරීමට පත්ව ඇති බවත් සඳහන් කළ ප්‍රධාන ලේකම්වරයා, ජනාධිපතිවරයා වුවද වැරදි නම් වැරදි යැයි ප්‍රකාශ කිරීමට බිය නොවන බවද පැවසීය.
බත්තරමුල්ල, නෙළුම් මාවතෙහි පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේදී ඊයේ (23දා) පැවති එම පක්ෂයේ සතියේ ප්‍රධාන මාධ්‍ය හමුවේදී මේ පිලිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් කාරියවසම් මහතා සඳහන් කර සිටියේ,
"පක්ෂයක් ලෙස ලොකු කලකිරීමක් තියෙනව, එතුමාට ජනාධිපති ධුරය අරන් දීලා එතුමා අපිට මේ විදියට සලකන එක ගැන. නමුත් අපි පක්ෂයක් ලෙස තවම තීරණය කර නෑ සහය ලබා නොදෙන්න. අවශ්‍ය වුවහොත් පක්ෂයක් ලෙස සාකච්ඡා කර ඒ ගැන ඉදිරියේදී තීරණයක් ගත යුතුයි" යනුවෙනි.