ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යාම සඳහා ශ්රීලනිපය වශයෙන් අපි ශක්තිමත් ආණ්ඩුවක් ඉදිරි මහමැතිවරණයේ දී එතුමාට ලබා දෙන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
විදුලිබල බලශක්ති හා ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම අදහස් පළ කළේ අගුණකොළ පැළැස්සේ තම නිවසේ පැවැති රැස්වීමකට සහභාගි වෙමිනි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,
ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රටේ ජනාධිපති ධුරයට පත්වෙලා දැන් මාස ගණනක් ගත වී තිබෙනවා. දැන් එතුමා බාරකාර ආණ්ඩුව පවත්වාගෙන යන්නේ ආණ්ඩුව විසුරුවා හරින කොට හිටපු අමාත්‍ය මණ්ඩලයක් සමග. නමුත් ඉතාමත් සාර්ථකව එතුමා අපේ රටේ වරින් වර පැන නගින ගැටලු කළමනාකරණය කර ගනිමින් රටත් ජනතාවත් ඉදිරියට ගෙන යනවා.
ජනාධිපතිතුමා රජය ගෙනයන්නේ ඉතාමත් සැලසුම් සහගතව. කොවිඩ් 19 වසංගත තත්ත්වය පාලනය කිරීමට ගත් ක්‍රියාමාර්ග තුළ පෙනෙන්නේ එතුමාගේ කළමනාකරණ හැකියාව. ලෝකයේ බලසම්පන්න රටවල්වල බලසම්පන්න නායකයින් යැයි පෙනී හිටපු පුද්ගලයින් අද විහිලුකාරයින් බවට පත්වෙලා. නමුත් මේ කුඩා රටේ ජනාධිපතිවරයා කොවිඩ් 19 වසංගතය පාලනයට ගත්ත ක්‍රියාමාර්ග දෙස බලන විට අපිට අපේ රටේ නායකයා ගැන සතුටු විය හැකියි. ආඩම්බර විය හැකියි.
එක්සත් ජාතික පක්ෂය මේ වනවිට දෙකට තුනට කැඩී ගොස් හමාරයි. එමනිසා ඉදිරියේ දී පැවැත්වෙන මහමැතිවරණයේ දී විශිෂ්ට ජයග්‍රහණයක් පොහොට්ටුවට ලැබෙන එක අනිවාර්යයි යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.