ප්‍රාදේශීය සභාව, පළාත් සභාව හා මධ්‍යම රජය යන අංශ තුනෙන්ම සේවාවන් සැපයීමේ දී සිදුවන මුදල් නාස්තිය වළක්වා ගැනීම සඳහා මෙම යාන්ත්‍රණ තුනෙහිම ක්‍රියාකාරිත්වය පිළිබඳ අවධානය යොමු කරමින් නව යාන්ත්‍රණයක් සැකසීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
පළාත් ආණ්ඩුකාරවරුන් සහ ප්‍රධාන ලේකම්වරුන් සමඟ සාකච්ඡා කර මසක් තුළදී ඒ පිළිබඳ වාර්තාවක් සකස් කරන ලෙස තමා නිලධාරීන්ට උපදෙස් දී තිබෙන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ පළාත් ආණ්ඩුකාරවරු සහ ප්‍රධාන ලේකම්වරු සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී ය.
පළාත් සභා ක්රමයේ පරිපාලන ක්‍රියාවලිය පිළිබඳ සාකච්ඡා කිරීමට මෙම හමුව කැඳවා තිබිණි.
"ඇතැම් අවස්ථාවල ප්‍රාදේශීය සභාව, පළාත් සභාව හා මධ්‍යම රජය යන අංශ තුනෙන්ම එකම ආකාරයේ සේවාවන් ලබාදීම සිදු වෙනවා. උදාහරණයක් ලෙස ගතහොත් කාණු කැපීම සහ විදුලි කණු සිටුවීම හා මාර්ග ඉදිකිරීම පෙන්වා දිය හැකියි. එලෙස කටයුතු කිරීමේ දී විශාල මුදල් නාස්තියක් සිදු වෙනවා.
එසේ නම් මෙම යාන්ත්‍රණ තුනෙහිම ක්‍රියාකාරිත්වය පිළිබඳ අවධානය යොමු කරමින් නව යාන්ත්‍රණයක් සැකසිය යුතුයි. ඒ සඳහා පළාත් ප්‍රධාන ලේකම්වරුන් සමඟ සාකච්ඡා කර මාසයක් ගත වීමට පෙර ඒ සඳහා නව ක්‍රමවේදයක් සකස් කරන ලෙස මම උපදෙස් දී තිබෙනවා.
පසුගිය වසර අපට ඉතා අසීරු කාලවකාවනුවක් වුණා. ඒ බව නැවත සඳහන් කිරීම අවශ්‍ය නැහැ කියා මම විශ්වාස කරවා. රටේ ආර්ථික ගැටලුවලට විසඳුම් ලබා දෙන අතරම රටේ පාලන ක්‍රමය යථා තත්ත්වයට ගෙන ඒමට අප කටයුතු කළ යුතුයි.
විශේෂයෙන් බිම් මට්ටමේ සේවා ලබාදීම සිදු වන්නේ පළාත් සභා මඟිනුයි. ඊට අමතරව දිස්ත්‍රික් මට්ටමින් සේවා ලබාදීම මධ්‍යම රජය යටතේ සිදු වෙනවා. මෙම සේවාවන් ලබාදීමේ දී තරගයකින් තොරව ඒකාබද්ධව මෙම කටයුතු ඉදිරියට ගෙන යා යුතුයි.
ආහාර සුරක්ෂිතතා වැඩසටහන අප දැන් රට පුරාම ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව ඉදිරි මහ කන්නයේ දී වැඩි අස්වැන්නක් ලබා ගැනීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ජනතාවගේ මන්දපෝෂණ තත්ත්වය පසුගිය වසරට වඩා අඩු වුව ද අපට එයින් සෑහීමකට පත් විය නොහැකියි.
රටේ ජනතාවගේ මන්දපෝෂණ තත්ත්වය අවම කර ගැනීමට අස්වැසුම වැඩසටහන ද හේතු වූ බව කිවයුතුයි. අස්වැසුම වැඩසටහන යටතේ ජනතාවට ලැබෙන ප්‍රතිලාභය සමෘද්ධියට වඩා වැඩි වෙනවා.
විශේෂයෙන්ම ලබන වසර අවසාන වනතුරු පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වන නිසා මෙම පළාත් පාලන කටයුතුවලට සම්බන්ධවීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් අවස්ථාවක් ලබාදිය යුතුයි. එහිදී ආණ්ඩුකාරවරයා සමඟ එකට වැඩ කළ හැකි වන පරිදි විශේෂ උපදේශක කාරක සභාවක් පත් කිරීමට ද අපේක්ෂා කරනවා.
විශේෂයෙන්ම අධ්‍යාපනය, වෘත්තීය පුහුණු කටයුතු මෙන්ම ඒ ඒ පළාත්වල නව විශ්වවිද්‍යාල ආරම්භ කිරීම පිළිබඳව ද අවධානය යොමු කර තිබෙනවා.
විශේෂයෙන්ම සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් පළාත් මට්ටමින් සංචාරක මණ්ඩල පත් කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ වගේම ආයෝජකයන් සහ ව්‍යාපාරිකයන් දිරි ගැන්වීමේ වැඩසටහන් රැසක් ඉදිරියේ දී පළාත් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව කිවයුතුයි."