චීන රජය විසින් ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික හා ධීවර කටයුතු සඳහා ඉන්ධන ලීටර් මිලියන 10.6ක් ලබා දීමට රජයට එකඟත්වය පළ කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චීන රජයෙන් කරන ලද ඉල්ලීමක් පරිදි මෙම පරිත්‍යාගය ලබා දෙනු ලබයි.
එම ඉන්ධනවලින් ලීටර් මිලියන 7.5ක් හෙවත් ලීටර් ලක්ෂ 75ක් කෘෂිකාර්මික කටයුතු සඳහා ලබා දීමට නියමිතය.
මෙම ඉන්ධන තොගය මෙම වසරේ දෙසැම්බර් මස වනවිට මෙරටට ලැබීමට නියමිත බැවින් මෙරට ගොවීන්ට කුඹුරු අස්වැද්දීම සඳහා ලබා දීමට නොහැකි වුවත්, අස්වනු නෙළන අවස්ථාවේදී එම ඉන්ධන ගොවීන් සඳහා ලබා දීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
චීන රජය විසින් මෙරටට පරිත්‍යාගයක් වශයෙන් ලබා දෙන මෙම ඉන්ධන තොගය ගොවි ජනතාවට නොමිලයේම ලබා දීමට කටයුතු යොදා ඇති බවත්, අමාත්‍යවරයා සඳහන් කළේය.
දැනට රට පුරා මහ කන්නය සඳහා කුඹුරු අස්වැද්දීම සිදු කෙරෙන අතර, හිඟයකින් තොරව ගොවිතැනට අවශ්‍ය ඉන්ධන සැපයීම සඳහා කටයුතු යොදා තිබේ.
වගාවට අවශ්‍ය ඉන්ධන අඛණ්ඩව සැපයීම සම්බන්ධීකරණ කටයුතු සියලුම දිසුත්‍රික් ලේකම්වරුන්ට පවරා ඇති අතර, ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් එම කටයුතු සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහාය වේ.
එමෙන්ම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් මෙම කටයුතු අධීක්ෂණය සඳහා නිලධාරියෙකු පත්කර ඇති අතර, කෘෂිකර්ම අමාත්‍යාංශය ද මෙම කටයුතු සම්බන්ධීකරණය හා අධීක්ෂණය සඳහා අතිරේක ලේකම්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් නිලධාරීන් දෙදෙනෙකු පත්කර තිබේ.
කිසියම් ප්‍රදේශයක සී සෑම හෝ ඉන්පසුව අස්වනු නෙළීමේදී ඉන්ධන සම්බන්ධව ගැටළුවක් පැන නඟින්නේ නම් දිස්ත්‍රික් ලේකම්වරුන් හමු වී ඊට පිළියම් යොදා ගැනීමට පිළිවන.