චීනය සහ ශ්‍රී ලංකාව අතර සිදු කෙරෙන ගුවන් ගමන් වාර සංඛ්‍යාව වැඩි කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව මෙම සතියේ සිට චීනය, ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් වාර 03ක් සිදු කරයි. ශ්‍රී ලංකන් ගුවන් සේවයට වැඩි වාර ගණනක් චීනය වෙත පැමිණීමටද අවස්ථාව සැලසේ.
ශ්‍රී ලංකාවේ චීන තානාපති චි සෙන්හොන්ග් මහතා පසුගියදා කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වූ අවස්ථාවේ දී මේ බව පැවසීය.
චීන රජය ශ්‍රී ලංකාවට ලබා දුන් සහ දීමට අපේක්ෂිත ආර්ථික හා මානුෂීය ආධාර පිළිබඳ තානාපතිවරයා ජනාධිපතිවරයා දැනුම්වත් කළේය.
චීනයේ අධ්‍යාපනය හදාරන ශ්‍රී ලාංකික වෛද්‍ය සිසුන්ට යළි එරටට පැමිණ අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව ලබාදීමට පියවර ගෙන තිබේ. ද්විපාර්ශ්වික වෙළෙඳාම හා ආර්ථික ක්‍රියාකාරකම් තවදුරටත් වර්ධනය කරගැනීම කෙරෙහි දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ.
චීන ජනාධිපති ෂී ජින් පින් මහතා එවූ විශේෂ පණිවිඩයක් තානාපතිවරයා ජනාධිපතිවරයා වෙත භාරදෙනු ලැබීය.
මෙරට මුහුණ දී සිටින ආර්ථික අර්බුදය හමුවේ මිත්‍ර රටක් ලෙස චීනය ලබාදෙන සහාය පිළිබඳ ජනාධිපතිවරයා සිය ප්‍රශංසාව පළ කළේය.