ශ්‍රී ලංකාවට භූ කම්පන මධ්‍යස්ථාන 07ක ආවරණය ඉදිරියේ දී ලැබෙන බවත් දැනටමත් මහජන චීනය නව මධ්‍යස්ථාන 03ක් නොමිලයේ ශ්‍රී ලංකාවට ලබා දීමට එකඟත්වය පළ කර ඇති බවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
“දැනට අපේ රටේ භූ කම්පන මධ්‍යස්ථාන හතරක් තිබෙනවා. පල්ලේකැළේ, බුද්ධංගල, මහකනදරාව හා හක්මන යන ප්‍රදේශවල ඒවා පිහිටා තිබෙනවා. භූකම්පන තවමත් අපිට අලුත් අත්දැකීමක්. මහජන චීනය අපිට ප්‍රතිඥා දී තිබෙනවා තවත් අංග සම්පූර්ණ මධ්‍යස්ථාන 03ක් ලබා දෙන්න. ඉන් එකක් අපි බස්නාහිර හා වයඹ පලාත් මායිමේ ස්ථාපිත කරනවා.
මහජන චීනය මගින් ලබා දීමට පොරොන්දු වී ඇති භූ කම්පන මධ්‍යස්ථාන 03ම අපිට ලැබෙන්නේ පරිත්‍යාගයක් වශයෙනුයි. ඒ සඳහා අපි සතපහක්වක් ගෙවිය යුතු නැහැ. එමනිසා අපිට ඉදිරි කාලය තුළ භූ කම්පන මධ්‍යස්ථාන 07ක ආවරණය ලැබෙනවා.
බරපතල භුමිකම්පන තත්ත්වයකට අපේ රට තවමත් මෑතකාලය තුළ ගොදුරු වී නැහැ. 2004 සුනාමිය ඇතිවුනත් එම භූමිකම්පාව අපේ රටේ සිදු වු එකක් නොවේ. නමුත් භූමිකම්පාවක් ඇති නොවේ යැයි අපිට නිශ්චිතවම කියන්න බැහැ. ඒ නිසා භූ කම්පන අධ්‍යයනය සඳහා අවශ්‍ය සියලු පහසුකම් අපි රට තුළ ස්ථාපිත කරනවා.
ඒ වගේම වැලි, කළුගල්, හා පස් කැණීම් සිදු කරන ලද ස්ථාන ඉතාමත් බියකරු ස්ථාන බවට පත් වී තිබෙන්නේ එම කැණීම් සිදුකරන ලද ස්ථාන විදිමත් පරිදි පුනරුත්ථාපනය කිරීමේ වැඩ පිළීවෙළක් නොමැති නිසා බව පෙනෙනවා. කැණීම් සඳහා බලපත්‍ර ලබා දෙනවා වගේම කැණීම් අවසන් කිරීමෙන් පසු එම කැණිම් සිදු කරන ලද ස්ථාන මහජනතාවට බයක් සැකක් නැතිව ගැවසිය හැකි ස්ථාන බවට පුනරුත්ථාපනය කිරීම භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ වගකීමක්” යැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
මහනුවර දිස්ත්‍රික්කයේ මාධ්‍ය වේදීන් වෙනුවෙන් භූ කම්පන හා භූ සම්පත් සම්බන්ධව දැනුම්වත් කිරීමේ වැඩ සටහනක් පසුගියදා Oak-Ray හෝටලයේ දී පැවැත්විනි. භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් මෙම සම්මන්ත්‍රණය සංවිධානය කර තිබුනි. එම අවස්ථාවට පරිසර අමාත්‍යවරයා මෙන්ම GSMB සභාපති අනුර වල්පොල, අධ්යක්ෂ ජනරාල් සජ්ජන ද සිල්වා මහතා ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.