පොලිස් අණ නොතකා අධික වේගයෙන් ගමන් ගන්නා මෝටර් රථයක දොරෙහි එල්ලී ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙමින් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට දැඩි උත්සාහයක යෙදුණු පොලිස් නිලධාරියකු බිමට ඇද වැටි තුවාල ලද ලබා ඇතැයි බම්බලපිටිය පොලිසිය කියයි.
ඔහු අනතුරට ලක් කළ මෝටර් රථ රියදුරු පැය කිහිපයක් තුළදී පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
චිත්රපටියක ජවනිකාවක් බදු මෙම සිද්ධිය හැව්ලොක් පාර වජිර හන්දිය සහ පොන්සේකා පෙදෙසෙහි ගමන් ගත් වාහන රියදුරන් සහ පාගමනින් ගමන් ගත් පුද්ගලයන් සිය ගමන නතර කර තුෂ්නිම්භූතව බලා සිටියහ.
සිද්ධියෙන් තුවාල ලද කොළඹ නාගරික රථවාහන කොට්ඨාසයට අයත් බම්බලපිටිය පොලිසියේ රථවාහන අංශයට අනුයුක්ත පොලිස් කොස්තාපල් 23110 බවන්ත නිලධාරියා කොළඹ ජාතික රෝහල වෙත ඇතුලත් කර ඇත.
තුවාල ලද කොස්තාපල්වරයා බම්බලපිටිය හැව්ලොක් පාර වජිර පාර හන්දියේ රථ වාහන රාජකාරියේ යෙදී සිටියදී තුන් මුල්ල දෙස සිට පැමිණ තිබූ මෝටර් රථයක් මාර්ගය අවහිරය පරිදි නවතා තිබී ඇතැයි පොලිසිය කියයි.
පොලිස් නිලධාරීවරයා වාහනය අසලට ගොස් රියදුරුගෙන් රිය බලපත්රය ඉල්ලා දකුණු අත රිය තුලට දිගු කිරීමේදී ඔහු එකවරම පැතිවීදුරුව උඩට උස්සා කොස්තාපල් වරයාගේ අත සිරවීමත් සමගම පණ ගන්වාගෙන තිබූ මෝටර් රථය කොස්තාපල්වරයාත් සමග ඊයක වේගයෙන් ෆොන්සේකා පෙදෙස ඔස්සේ ඉදිරියට ධාවනය කරන්නට සැකකාර රියදුරු කටයුතු කර තිබූ බව පොලිසිය කියයි.
මීටර් දෙසීයක් පමණ මෝටර් රථය වේගයෙන් ධාවනය කර තිබූ සැකකරු වම් පස නවතා තිබූ මෝටර් රථයකට වෙට්ටුවක් දමා මෝටර් රථයේ රැඳී සිටි කොස්තාපල්වරයාව එහි හැප්පීමට සැලැස්වීමත් සමගම කොස්තාපල්වරයා මහ මඟ ඇද වැටී තුවාල සිදුවී තිබූ බව පොලිසිය කියයි.
එම අවස්ථාවේ ද සැකකරු නොනවත්වා සිය මෝටර් රථය පදවාගෙන පලා ගොස් පැය කීපයකට පසුව නීතිඥවරයෙක් මාර්ගයෙන් පොලිසියට බාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරියෙකු පැවසීය.
ඔහු පැදවූ මෝටර් රථය අලුත් කඩේ අධිකරණය ආසන්නයේ රථ ගාලක සඟවා තිබියදී පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.
කොළඹ 15 විවේක නන්ද පාර පදිංචි 40 හැවිරිදි සැකකරු ඌබර් රියදුරෙකි.
