2011-12 කාලයේදී සුප්‍රිම් ග්ලෝබල් හෝල්ඩින්ග්ස් ආයතනයට අනුබද්ධිත සුප්‍රිම් සැට් සමාගම විසින් දියත් කළ සන්නිවේදන චන්ද්‍රිකාව සඳහා ශ්‍රී ලංකා රජය විසින් කිසිදු ආයෝජනයක් සිදු කර නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී.චානක මහතා යොමු කළ ප්‍රශ්නයකට පාර්ලිමේන්තුවේදී පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
“චිචීගේ රොකට් එක” යනුවෙන් රටම දන්න මේ චන්ද්‍රිකාව හරහා මෙරට මුදල් ඩොලර් මිලියන 300ක් ආයෝජනය කර අතුරුදන්ව නොමැති බව මෙයින් පැහැදිලි වන බවත්, අදළ ව්‍යාපෘතිය හරහා වාර්ෂිකව මිලයන 20,000ක් ලෙස රටට අදායමක් ලැබී ඇතැයි පිළිතුර අනුව පැහැදිලි වන බවත් ඊට ප්‍රතිචාර දක්වමින් චානක මන්ත්‍රීවරයා පැවසීය.
අග්‍රාමාත්‍ය ආචාර් හරිනි අමරසූරිය - 2011-12 කාලයේදී සුප්‍රිම් ග්ලෝබල් හෝල්ඩින්ග්ස් ආයතනයට අනුබද්ධිත සුප්‍රිම් සැට් සමාගම විසින් දියත් කළ සන්නිවේදන චන්ද්‍රිකාව සඳහා ආයෝජනය කර ඇති මුදල ගැන අහලා තියෙනවා. සුප්‍රිම් සැට් සමාගම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග ගිවිසුම් ගතව තිබෙන්නේ 2012 මැයි 23 වැනිදා. ඒ 2013-2014 කාලය තුළ එම ආයතනය රුපියල් දොළොස් මිලියන එක්ලක්ෂ හාරදහස් නවසීය තිස් හයක (12,104,900) මුදලක් නිවේදන චන්ද්‍රිකාව සඳහා යොදවා තිබෙනවා.
සමාගම විසින් ඉදිරිපත් කර ඇති ආයෝජන අයදුම්පතෙහි තොරතුරු අනුව මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකාවේ රජය විසින් මුදල් ආයෝජනය කර නොමැත. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල නීතියේ 17 වැනි වගන්තිය යටතේ දේශීය වෙළඳපොළ කේද්‍රකරගත් ව්‍යාපෘතියක් ලෙසයි එය ආයෝජනය කරලා තියෙන්නේ. රු.මි.1828ක ආයෝජනයක් සහිතව මහනුවර කාර්මික උද්‍යානයේ චන්ද්‍රිකා පද්දධයක් පිහිටුවීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා 2012.05.23 දින සුප්‍රිම් එස්.එෆ්.එස්.ටී. පෞද්ගලික සමාගම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග ගිවිසුමකට එළෑඹ ඇති අතර, එම ව්‍යාපෘතිය මගින් ග්රාහකයන් සඳහා විදුලි සංදේශ සහ විකාශන පහසුකම් සැපයීමට නියමිතයි. මෙම ව්‍යාපෘතිය 2015.08.27 දින සිට වාණිජ මෙහෙයුම් ආරම්භ කර ඇත. පවතින වාර්තා වලට අනුව 2019 වන විට සමාගමේ කොටස් ව්‍යුහය පහත පරිදි වේ.
සුප්‍රිම් එස්.එල්. ඉන්වෙස්මන්ට් පෞද්ගලික සමාගම කොටස් හතළිස් හත් මිලියන අසූ දහස් දෙසීයක්, සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩින්ග්ස් පෞද්ගලික සමාගම එකසිය අසූ අට මිලියන තුන්ලක්ෂ හතළිස් හතර දහස් නවසීය හැත්තෑවක්.
ආයෝජන මණ්ඩලය සතු වාර්තා අනුව ශ්‍රී ලංකාවට මූල්‍ය ප්‍රතිපාදන ලෙස සුප්‍රිම් සැට් සමාගම විසින් පහත සඳහන් ආදායම් ලබා ඇත. 2015-2016 ආදායම රු. මි.19,617යි. 2016-2017 ආදායම රු. මි.28,133යි. 2017-2018 ආදායම රු. මි.29,106යි. 2018-2019 ආදායම රු. මි.34,169යි. 2019-2020 ආදායම රු. මි.42,960යි. 2020-2021 ආදායම රු. මි.62,545යි. 2021-2022 ආදායම රු. මි.87,789යි. 2023 පළවෙනි මාස 06 තුළ ආදායම රු. මි.39,590යි. දීලා තියෙන වාර්තාව අනුම මම මේ පිළිතුර සකස් කරලා තියෙන්නේ. ලැබිලා තියෙන දත්ත සහ තොරතුරු අනුව පමණයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී.චානක - මම පළමුවෙන් ස්තුතිවන්ත වෙනවා අගමැතිතුමියට ආයෝජකයන්ට එල්ල කරලා තිබුණු ලොකුම ප්‍රහාරයකට අද ඔබතුමිය උත්තර දුන්නා. මේක මම හිතන්නේ ලංකාවේ වැඩියෙන් දන්නේ චිචීගේ රොකට් එක කිව්වම. ලංකාවේ ඩොලර් මිලින 300ක් ආයෝජනය කරලා මේක අතුරුදන් වෙලා කියලා මම ප්රශ්නය ඇහුව දවසෙත් බිමල් රත්නායක මහත්තයා එහා පැත්තෙ ඉඳන් කිව්වා අතුරුදන් කියලා. ඒත් දැන් අග්රමාත්යතුමියම කියනවා එහෙම දෙයක් වෙලා නෑ ලංකාවේ එක රුපියලක්වත් ආයෝජනය කරලත් නෑ, ඒ වගේම අනිත් පැත්තෙන් වාර්ෂිකව මිලියන 20,000ක් ලෙස රටට ආදායමක් ඇවිල්ලා තියෙනවා.
පසුගිය සතියේදී සුනිල් හඳුන්නෙත්ති ඇමතිවරයා, තව මන්ත්‍රී කෙනෙක් පහර දෙනවා මේක ලංකාවේ රජයෙන් නැත්තන් ජනාධිපතිතුමාගේ පුතාලට විනෝද වෙන්න කරපු දෙයක් කියලා. නමුත් අද අග්‍රාමාත්‍යතුමිය කියනවා මේකෙන් විශාල ආයෝජනයක් ලංකාවට ඇවිල්ලා තිබෙනවා. ඍජු ආදායමක් වාර්ෂිකව ලැබිලා තියෙනවා.
අග්‍රාමාත්‍ය ආචාර් හරිනි අමරසූරිය - මට බී.ඕ.අයි. එකෙන් තොරතුරු අනුව තමයි මම පිළිතුර සැපයුවේ. ඒ ගැන නිගමනයකට එන්න තරම් මම මේක විශාලද පොඩිද කියන එකක් ගැන මගේ අදහසක් නම් කියන්න ගියේ නෑ. සමාජයේ කතාබහට ලක්වුණේ වෙනම හේතු නිසා. ඒක ගැන ඔබතුමා වෙනම ප්‍රශ්නයක් අහනවා නම් මට ඒකට උත්තරයක් දෙන්න පුළුවන්.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී.චානක -බී.ඕ.අයි. එකෙන් ලබා දෙන උත්තරයක් අග්‍රාමාත්‍යවරිය මේ සභාවට කියනවා නම් අපි විශ්වාස කරනවා ඔබතුමිය ඒක අධ්‍යයනය කරලා , වගේම ජනාධිපතිතුමාගේ යටතේ මේ අමාත්‍යාංශය තියෙන්නේ.