ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ ගිනි ගෙන විනාශ වූ " එක්ස්ප්‍රස් පර්ල් " නෞකාවේ වන්දි මුදලින් කොමිස් ලබා ගත්තේ තමන් නොවන බවත් එම ප්‍රකාශ වලට එරෙහිව එංගලන්තයේ සිට ක්‍රියාත්මක වන වෙබ් අඩවියට එරෙහිව තමන් එරටට ගොස් නීතිමය පියවර ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කළ බවත් ගෝලීය ශ්‍රී ලාංකික කොංග්‍රසයේ නායක මංජු නිශ්ශංක මහතා කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී අද දින සවස ප්‍රකාශ කළේය.
පසුගිය දින වල අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ නෞකාවෙන් ශ්‍රී ලංකාවට අයවිය යුතු වන්දි මුදල ලබා ගැනීම වැලැක්වීම සදහා එම සමාගමෙන් චාමර ගුණසේකර නැමැති පුද්ගලයෙකු කොමිස් මුදලක් ලබා ගෙන ඇති බවය.
එහිදී එංගලන්තයේ සිට ක්‍රියාත්මක වෙබ් අඩවියක් වාර්තා කර තිබුනේ චාමර ගුණසේකර යනු මංජු නිශ්ශංක බවය. මෙම ප්‍රකාශයට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීම සදහා තමන් ලන්ඩන් නුවර දින 05 ක කාළයක් ගත කළ බවත් , එම කටයුතු සාර්ථක ලෙස නිමා කිරීමෙන් පසුව තමන් මෙසේ යළි ශ්‍රී ලංකාව වෙත පැමිණි බව ද මංජු නිශ්ශංක මහතා පැවසීය .
තමන් මෙම ප්‍රකාශය සාවද්‍ය බවට පිළිගෙන පොදු ප්‍රකාශයක් සිදු කිරීම සහ තම කීර්තිනාමයට වූ හානියට වන්දියක් ලබා ගැනීම මෙම නඩු පැවරීම මගින් තමන් ලන්ඩන් අධිකරණයෙන් අපේක්ෂා කරන බව ද පැවසීය.
