රාජගිරිය ප්‍රදේශයේ 2016 වසරේදී සිදුවූ රිය අනතුරක් සිදු කොට තරුණයකුට බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහි නඩු විභාගය අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් තීන්දුව ලබන මස 15 වැනිදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය අද (30) දැනුම් දුන්නේය.
තමාට එරෙහිව කොළඹ මහාධිකරණයේ විභාග කරන නඩුවේ නඩු විභාගය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව ඒ බව දැනුම් දුනන්නේය.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායස් යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල අදාළ නියෝගය නිකුත් කළේය.
පෙත්සම කැදවූ අවස්ථාවේදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා කරුණු දක්වමින් තම සේවාදායකයාට එරෙහිව පවරා ඇති මෙම රිය අනතුරු සිද්ධිය සම්බන්ධයෙන්ම අනතුර වන විට අදාළ රථය පැදවූ දිලුම් තුසිත කුමාර නමැත්තා වරද පිළිගැනීමෙන් පසු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඔහුට දඩුවම් නියම කර ඇතැයි කීය.
එසේ තිබියදී අදාළ චෝදනාව සම්බන්ධයෙන් තම සේවාදායකයාට එරෙහිව නඩු පැවරීමට නීතිපතිවරයා ගත් තීරණය නීතියට සම්පූර්ණයෙන්ම පටහැනි බැවින් අධිචෝදනා පත්‍රය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ෆයිස් මුස්තාපා මහතා ඉල්ලා සිටියේය.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ඩිලාන් රත්නායක මහතා කරුණු දක්වමින් රිය අනතුර සම්බන්ධයෙන් අගතියට පත් පාර්ශ්වය 2019 වසරේ කළ නව පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශනය කළ කොළඹ අපරාධ කොට්ඨාශය එම රිය අනතුරේ නියම සැකකරු පිලිබද සාක්ෂි අනාවරණය කරගෙන පෙත්සම්කරුට එරෙහිව නඩු පවරා ඇතැයි කීය.
අපරාධයක් සම්බන්ධයෙන් සැකකරුවෙකුට එරෙහිව සාක්ෂි අනාවරණය වන අවස්ථාවක ඔහුට එරෙහිව නඩු පැවරීමෙන් වැලකී සිටින්නේ කෙසේදැයි ප්‍රශ්න කළ ඩිලාන් රත්නායක මහතා පෙත්සම්කරුගේ ඉල්ලීම් ඉවත දමා මහාධිකරණය නඩු විභාගය ඉදිරියට පවත්වාගෙන යෑමට අවසර දෙන්නැයි ඉල්ලා සිටියේය”
ඉදිරිපත්වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් ලිඛිත දේශන ඇත්නම් නොවැම්බර් 03 වැනිදාට පෙර ගොනුකිරීමට නියම කළ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම විභාගයට අවසර දෙන්නේද? නැද්ද? යන්න පිළිබඳ තීරණය නොවැම්බර් 15 වැනිදා ප්‍රකාශයට පත්කරන බව දැනුම් දුන්නේය.