චීනයේ චැන්ග්-5 චන්ද්‍ර මෙහෙයුමේ සඳ පෘෂ්ඨයේ සිට පාෂාණ සාම්පල රැගෙන ඉහළට එසවුණු ඇසෙන්ඩර් යානය සාර්ථක ලෙස සඳ කක්ෂයේ රැඳී සිටි ඕබිටර් යානය සමග සම්බන්ධ වී තිබේ.
චීනයේ වේලාවෙන් අද (06දා) අලුයම 5.42 ට පමණ ඇසෙන්ඩර් යානය සාර්ථකව ඕබිටර් මවු යානයට සම්බන්ධ වූ බව චීන ජාතික අභ්‍යවකාශ පරිපාලනය නිවේදනය කරයි.
චීන අභ්‍යවකාශ යානා චන්ද්‍ර කක්ෂයේදී මෙසේ යළි එකිනෙක සම්බන්ධ කෙරුණු පළමු වැනි අවස්ථාව මෙය බවද කියයි.
සඳ මත එකතු කරන ලද පාෂාණ සාම්පල දළ වශයෙන් කිලෝ ග්‍රෑම් 2ක් බරින් යුක්ත වන අතර, මේ වනවිටත් එම සාම්පල ඇසෙන්ඩර් යානයේ සිට යළිත් පෘථිවිය බලා පැමිණෙන රිටනර් යානය වෙත මාරුකර ඇති බවද චීන ජාතික අභ්‍යවකාශ පරිපාලනය පවසයි.
චැන්ග්-5 හි මෙහෙයුම චීන අභ්‍යවකාශ ඉතිහාසයේ වඩාත්ම සංකීර්ණ එකක් වන අතර, වසර 40කට වැඩි කාලයක් තුළ ලොව ප්‍රථම සඳ-නියැදි මෙහෙයුම ලෙසද ඉතිහාසගත වෙයි.
ඕබිටර්, ලෑන්ඩර්, ඇසෙන්ඩර් සහ රිටනර් යනුවෙන් යානා කිහිපයකින් සුසැදි චැන්ග්-5 අභ්‍යවකාශ මෙහෙයුම නොවැම්බර් 24දා දියත් කරන ලද අතර, එහි ලෑන්ඩර් සහ ඇසෙන්ඩර් යානා විසින් දෙසැම්බර් 01දා සඳ පෘෂ්ඨය මත ගොඩබෑම සාර්ථකව සිදුකරන ලදී.
පසුව සඳ පෘෂ්ඨයෙන් පාෂාණ සාම්පල එකතු කර මුද්‍රා තැබීමෙන් පසුව, චැන්ග්-5 හි ඇසෙන්ඩර් යානය දෙසැම්බර් 3 වැනි දින චන්ද්‍ර පෘෂ්ඨයෙන් පිටත් විය.
ඒ අනුව ඕබිටර් සහ රිටනර් යානා ඇසෙන්ඩර් යානයෙන් වෙන්වී ආපසු පෘථිවිය බලා පැමිණීමට සුදුසු කාලය පැමිණෙන තෙක් මේ වනවිට සඳ කක්ෂයේ රැඳී සිටින බවද චීන ජාතික අභ්‍යවකාශ පරිපාලනය වැඩිදුරටත් පවසයි.