නීති විරෝධී මත්පැන් පෙරීමට යොදා ගන්නා ගෝඩා බැරලයක් ළඟ තබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී පෙරේදා (25 දා) පස්වරුවේ එම සැකකරු පොලිස් නිලධාරියෙකුට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදු කිරීම හේතුවෙන් එම නිලධාරියා කැබිතිගොල්ලෑව රෝහලට ඇතුළත් කර ඇති බවත්, පහර දීම සිදු කළ සැකකරු අත්අඩංගුවට ගත් බවත් ඇටවීරගොල්ලෑව පොලිසිය පවසයි.
මෙලෙස තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ ඇටවීරගොල්ලෑව පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරයන් නන්දන (49517) නමැති නිලධාරියෙකි.
නීති විරෝධී මත්පැන් පෙරීමට භාවිතා කරන ගෝඩා ළඟ තබා ගැනීම සහ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර එක් නිලධාරියෙකුට කැත්තකින් කොටා තුවාල සිදු කිරීම සම්බන්ධයෙන්, මෙලෙස අත්අඩංගුවට ගත්ත ඇත්තේ, ඇටවීරගොල්ලෑව මොරගොඩ තුලානේ පදිංචිව සිටි 57 හැවිරිදි පුද්ගලයෙකි.
නිවසක නීතිවිරෝධී ලෙස මත්පැන් පෙරන බවට පොලීසියට ලැබුණු තොරතුරක් අනුව ඇටවීරගොල්ලෑව පොලිසියේ සිට කිලෝමීටර් අටක් පමණ දුරින් පිහිටි එම නිවසට ගිය අවස්ථාවේ සැකකරුගේ බිරිඳ සහ පුත්රයා සිටි බවත් පියා නොමැති බව සඳහන් කර තිබූ බව පොලිසිය කියයි.
එම අවස්ථාවේදී නිවස පරික්ෂා කිරීමේදී ගෙවත්තේ සඟවා තිබූ, ගොඩා බැරල් එකක් හමුවූ බවත් ඒවා සම්බන්ධයෙන් නිවැසියන්ගෙන් විමසීමේදී පුත්රයා විසින් ඒ සම්බන්ධයෙන් පියාගෙන් කරුණු විමසන ලෙසට පැවසූ බව පොලිසිය කියයි .
ඉන් අනතුරුව නිවසට පැමිණි සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී, අත් අඩංගුවෙන් මිදී පලා යාමේ අරමුණින් නිවස තුලට දිව ගොස් කැත්තක් රැගෙන විත් මෙම පහර දීම සිදු කර ඇති බව පොලීසිය කියයි.
සැකකරු විසින් පොලිස් සැරයන්වරයාගේ හිසට කැති ප්රහාරය එල්ල කරනවාත් සමග එම නිලධාරියා පසු පසට වීමේ හේතුවෙන් දකුණු පාදයේ දණ හිසට පහළින් කැපී ගොස් තුවාල සිදුව ඇති බව පොලීසිය කියයි.
පහර කෑම හේතුවෙන් තුවාල ලැබූ පොලිස් සැරයන් වරයා කැබිතිගොල්ලෑව රෝහලට ඇතුළත් කර බවද පොලිසිය කියයි.