ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයේ නම හා ලකුණ වෙනස්කර ඇත්තේ මිනිස් ඝාතන ඇතුළු ලෙයින් වැකුණු අපකීර්තිමත් ඉතිහාසය වත්මන් පරම්පරාවෙන් වසංකරගැනීම සඳහා යැයි මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
ඔහු සඳහන් කරන්නේ එල්.ටී.ටී.ඊ සංවිධානය මෙන්ම ජනතා විමුක්ති පෙරමුණද රට බෙදීමට කටයුතු කළ බවයි. එබැවින් මේ සංවිධාන දෙකම, දෙකක් නොව එකක් බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
මීරිගම යොවුන් නිකේතනයේදී ඊයේ (27) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මීරිගම ආසන බල මණ්ඩලයට සහභාගී වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව සඳහන් කළේය.
“අරගලයේ පිටිපස්සේ හිටියේ කවුද කියලා අද එළිදරව් වෙමින් පවතිනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට කුණුහරුපෙන් බැනපු හමුදුරුවෝ නමකගේ ගිණුමට රුපියල් කෝටි 100ක් බැරවෙලා තියෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව හොයාගෙන තියෙන විදියට ඒ සල්ලි එවලා තියෙන්නේ ගෝතමාලාවෙන්. ලෝකයේ වැඩියෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම සිද්ධ වෙන්නේ ගෝතමාලාවේ. කුඩු නැති කරන්න කටයුතු කරපු නායකයා යවන්න සල්ලි පොම්ප කළේ ලෝකයේ වැඩියෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම සිද්ධ කරන රටක්. ගෝල්ෆේස් අරගලයට කන්න දුන්නා කියලා එල්.ටී.ටී.ඊ දෙමළ ඩයස්පෝරාව ප්‍රසිද්ධියේම කිව්වා.
අරගලය නිසා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ගෙදර යන්න සිද්ධ වුණා. ඒ වෙලාවේ රට භාර දෙන්නෙ කාටද කියලා පක්ෂයක් විදියට අපි කල්පනා කළා. ආර්ථිකය ගොඩගන්න පුළුවන් අත්දැකීම් බහුලම නායකයා රනිල් වික්‍රමසිංහ මහත්තයා බව තීරණය කරලා ජනාධිපති වෙන්න අපේ පක්ෂය එතුමට සහයෝගය දුන්නා.
ආර්ථික අර්බුදයෙන් රටත්, ජනතාවත් ගොඩගන්න එතුමාට හැකි වෙලා තියෙනවා. සැප්තැම්බර් මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ආධාර ලැබෙනවා. එතකොට ජනතාවගේ පිඩනය තව දුරටත් අඩු කරන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා.
මේ දවස්වල අපි ජනාධිපතිවරු දෙන්නෙක් දකිනවා. එක්කෙනෙක් රටේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා. අනිත් කෙනා ෆේස්බුක් ජනාධිපති අනුර කුමාර දිසානායකයි. ජනතා විමුක්ති පෙරමුණ කිව්ව ගමන්ම මතක් වෙන්නේ මනුෂ්‍ය ඝාතන. බස් ගිනි තියපුවා. අන්න ඒ ලෙයින් වැකුණු අපකීර්තිමත් ඉතිහාසය වත්මන් පරම්පරාවෙන් වසංකරගන්න මේ වෙනකොට ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයයි, ලකුණයි දෙකම මාරු කරලා. හැබැයි මේ රටේ මිනිස්සු මැරිල ඉපදිලා නැහැ. ජේ.වී.පී එක කරපුව අපිට හොඳට මතකයි.”