ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ භාරකාර ආණ්ඩුවක් පිහිටුවීම විහිළුසහගත කරුණක් බව දෙමළ ප්රගතිශීලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පැවසීය.
ජනාධිපතිවරයා යටතේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්රමුඛ කැබිනට් මණ්ඩලයට නිසි පරිදි ඔහු යටතේ කටයුතු කිරීමට නොහැකි වීම ඊට හේතුව බව 'අද' පුවත්පත සමග අදහස් පළ කරමින් හෙතෙම සඳහන් කළේය.
ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉවත්වීමට කටයුතු කළ යුතු බවත්, එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20වැනි සංශෝධනය අහෝසි කර 19වැනි සංශෝධනය ගෙන ඒමට සියලු ජනතාව පක්ෂ, පාඨ භේදයකින් තොරව එක් වී කටයුතු කළ යුතු බවත් සඳහන් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා,
"භාරකාර ආණ්ඩුවක් මේ වකවානුවේ රටට අවශ්‍ය වන බව පෙනී ගියා වුණාට මේ රටේ ජන මතයට ඇහුම්කම් දෙන්න ඕන. ඒ වගේම වගකීමෙන් පවතින රජයත් ඒ ජන මතයට ඇහුම්කම් දෙන්න ඕන. රටේ ජනතාවගේ එකම ඉල්ලීම ජනාධිපති ඉල්ලා අස් වී ධුරයෙන් ඉවත් වෙන්න ඕන කියන එක.
ඒ පදනම උඩ තමයි දේශපාලන පක්ෂත්, සිවිල් සංවිධාන ක්‍රියාකාරීනුත් මෙන්ම සාමාන්‍ය ජනතාව පක්ෂ භේදයකින් තොරව ඉල්ලන්නේ. දැන් ලක්ෂ 69ක ජනතාවත් පාරට බැහැලා උද්ඝෝෂණය කරනවා. ජනාධිපතිවරයා 20වැනි සංශෝධනය හරහ ලබාගත් උච්ච බලතල තබාගෙන විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට භාරකාර ආණ්ඩුවකට හදන්න එන්න කියලා ආරාධනා කිරීම විහිළුවක්.
ජනාධිපතිවරයාගේ පොදුජන පෙරමුණේ කැබිනට් එකට පැවැත්මක් නැති වුණා. ඉතින් තවමත් ශ්‍රී ලංකා රජයට කැබිනට් එකක් නෑ. තමන්ගේ කැබිනට් එකටම නිදහසේ කටයුතු කරන්න ලබා නොදුන් ජනාධිපතිවරයා කොහොමද මේ විපක්ෂයේ සහභාගිත්වයෙන් ඇති කරන භාරකාර ආණ්ඩුවකට අවස්ථාව ලබා දෙන්නේ.
ඉතින් ජනාධිපතිවරයා අස්වෙන්න පමණක් නොවෙයි, ජනාධිපති ධුරයට තිබෙන විශේෂිත බලතල ටික ඇතුළත් 20වැනි සංශෝධනය ඉවත් කරලා 19වැනි සංශෝධනය ගෙන ඒමට අපේ රටේ ජාති භේද, ආගම් භේද, පක්ෂ භේද පසෙකලා වැඩ කරන්න ඕන. ඒකට සම්බන්ධ වෙන්න කියලා ආණ්ඩුවටත් අපි ඉල්ලීමක් කරනවා. නැත්නම් මේකෙන් ගැලවීමක් නෑ අපට. අවසානයේ විධායක ජනාධිපති ධුරයම අවසන් කරන්න ඕන කියලා තමයි රටේ පොදු මතය ඇති වී ගෙන එන්නේ" යනුවෙන් සඳහන් කළේය.