යුරෝපා කලාපීය රටවල් ශ්‍රී ලංකාවේ මිත්‍රයන් සේ සලකන ලෙසත් මේ අසීරු අවස්ථාවේ ශ්‍රී ලංකාව අත්නොහැර අඛණ්ඩව සහාය දෙන බවත් යුරෝපා කලාපීය රටවල තානාපතිවරු අද (24දා) කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වූ අවස්ථාවේ දී පැවසූහ.
මෙරට ජනගහනයෙන් සියයට 90ක් ග්රාමීයව වෙසෙන අතර ඉන් සියයට 75ක් කෘෂිකර්මාන්තයේ නියැලෙති. ඔවුන්ට අවශ්‍ය පොහොර හා ඉන්ධන ලබාදීමෙන් ගැටලු රැසකට මෙන්ම ආහාර සැපයීම සම්බන්ධයෙන් විසඳුම් ලබාගත හැකි බව ජනාධිපතිවරයා පැවසීය.
ආර්ථිකය ගොඩනැගීමේ ඉදිරි සැලසුම් පිළිබඳ ලබාදෙන ස්ථිර පණිවිඩයක් මගින් ජාත්‍යන්තර ප්‍රජාවට ශ්‍රී ලංකාවට පහසුවෙන් සහාය විය හැකි බව දූත මණ්ඩල සාමාජිකයෝ පෙන්වා දුන්හ.
කෘෂිකර්මාන්තය සඳහා උනන්දුවක් දක්වන පිරිස වෙනුවෙන් ඉඩම් ප්‍රශ්නයට විසඳුමක් ලෙස වගාකර නොමැති රජයේ ඉඩම් ලබාදීමට පියවර ගෙන තිබේ. යුද්ධයෙන් පසු ඇති වූ මානුෂීය තත්ත්වයන් සැලකිල්ලට ගෙන දීර්ඝකාලීන විසඳුම් ලබාදීමටත් නීතිය ක්‍රියාත්මක වීමේ දී කිසිවිටෙකත් ඊට මැදිහත් නොවී පක්ෂ භේදයකින් තොරව සාධාරණව කටයුතු කර ඇති ආකාරයත් ජනාධිපතිවරයා පෙන්වා දෙනු ලැබීය.
ආයෝජන, සංචාරක, අධ්‍යාපන ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝව සාකච්ඡාවට ලක් කෙරිණි.
යුරෝපා සංගමයේ තානාපති ඩෙනිස් චායිබි , ප්‍රංශ තානාපති එරික් ලවෙර්ටු, ඉතාලි ජනරජයේ තානාපති රීටා මැනෙල්ලා , නෝර්වේ තානාපති ට්‍රිනා යුරන්ලි එස්කෙඩාල් , නෙදර්ලන්ත තානාපති ටාන්යා හොන්ග්‍රිච් , ජර්මනියේ තානාපති හොල්ගර් ලොතර් සොයිබර්ට් , රුමේනියාවේ තානාපති ආචාර්ය වික්ටර් චියුඩියා, තුර්කි තානාපති රකිබේ ෂෙකර්ජිඕලූ , ස්විට්සර්ලන්ත සම්මේලනයේ තානාපති ඩොමිනික් ෆර්ග්ලර් , ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි අනුර දිසානායක සහ අද්මිරාල් ජයනාත් කොළඹගේ යන මහත්ම මහත්මීහු මේ අවස්ථාවට සහභාගි වූහ.