ගොවි රක්ෂණය නැවත ඇති කරන බවත් ආරක්ෂාවට ප්‍රමුඛතාව ලබාදෙන බවත් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය. ඊයේ (14දා) ගල්ගමුව පැවැති රැළියක් අමතමින් ඔහු මේ බව පැවැසීය.
“අපි රජයක් හදන්න බලාපොරොත්තු වෙනවා නම් ආදර්ශයක් විය යුතුයි. අපි බලාපොරොත්තු වන සාමකාමී රටත් නිහතමානි සමාජයත් හදන්න පොරොන්දු වෙන අවස්ථාවේ විරුද්ධවාදින්ගේ කුමන්ත්රණවලට හසුව අසෝභන විදියට හැසිරෙනවා නම් එය විරුද්ධවාදින්ගේ අවශ්‍යතාවය ඉටු කිරීමක්.
අපේ රජයක් තුළ ප්‍රමුඛත්වය දෙන්නේ ආරක්ෂාවට. ඒ සුරක්ෂිත ආරක්ෂිත රට බිහිකර සාමකාමීව පන්සලට පල්ලියට කෝවිලට යන්න හැකි වාතාවරණය අපි නැවතත් මේ රටේ ඇති කරනවා. ලිබරල්වාදි මත තිබෙන ඇමැතිවරු ආන්ඩුවේ සිටින තෙක් විජාතික බලවේගවලට කත් අදින අය රජය තුළ සිටින තෙක් ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙන්න හැකියාවක් නැහැ. අපි මේ විජාතික බලවේගවලට හෝ අදහස්වලට නැවෙන්නේ නැති නායකත්වයක් දෙමින් නිසි ආරක්ෂීත වැඩපිළීවෙලක් යොදනවා.
රටක ආරක්ෂාවක් නැත්නම් ස්ථාවරත්වයක් නැත්නම් රටේ ආර්ථිකය ගොඩගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. දේශීය හෝ විදේශීය ආයෝජකයින් හෝ සංචාරකයින් මේ රටට එන්නේ නැහැ. අපි පැහැදිලි ආර්ථික සැලැස්මක් ඉදිරිපත් කර තිබෙනවා.
මේ රජය කෘෂිකර්මයට ප්රමුඛත්වයක් දුන්නේ නැහැ. අපේ රටේ ජනතාවගෙන් තුනෙන් එකක් යැපෙන්නේ කෘෂිකර්මාන්තය හරහායි. මහින්ද රාජපක්ෂ යුගයේ අපි කෘෂිකර්මාන්තයට ප්රමුඛත්වයක් දුන්නා වගේම අපේ ඉදිරි ආර්ථික සැලැස්ම අනුවත් කෘෂීකර්මාන්තයට ප්රමුඛත්වයක් දෙනවා. අපි ආහාර අතින් ස්වයංපෝෂිත විය යුතුයි වගේම සුරක්ෂීත විය යුතුයි. අපි එදා අනුරාධපුර ආරම්භ ජන රැළියේදී කෘෂිකර්මාන්තය වෙනුවෙන් සහන දෙන බව කිව්වේ ඒ නිසයි.
අපි ගොවියා ජිවත් කරවන්න, ඔවුන්ගේ ආර්ථිකය නංවන්නයි මේ සියලූම පොරොන්දු දුන්නේ. ගොවියාට අවශ්‍ය පොහොර නොමිලේ ලබා දෙන්න අපි එදා පොරොන්දු වුණා. ගොවියන් අසීරු තත්ත්වයට වැටිලා තිබෙන අවස්ථාවක ගොවි ණය කපා හරින බවත් අපි කිව්වා. අපි නැවත ගොවි රක්ෂණය ඇති කරනවා. දේශගුණ බලපෑම් නිසා ඵලදාව හානි වූ අවස්ථාවල සහනාදාර හැකි ඉක්මනින් ලබා දෙනවා. “

