හොරොව්පොතාන මොරගොඩ මූකලාන ප්රදේශයේ නිවසක් ඉදිරිපිට ඉදිකර තිබූ ළිදක් අද (05) අළුයම සම්පූර්ණයෙන්ම ගිලා බැස තිබේ. මෙලෙස ගිලා බැස ඇත්තේ හොරොව්පොතාන මොරගොඩමූකලාන පදිංචි කේ.ජී.දිසානායක මහතාගේ නිවසේ ඉදිකර තිබූ ළිඳකි.
අද අළුයම එකට පමණ විශාල ශබ්දයක් ඇසුණ බවත් පසුව නිවසින් එලියට පැමිණ බලන විට ළිද පෙනෙන්නට නොතිබූ බවත් නිවස හිමි කේ.ජී.දිසානායක මහතා පැවසීය. වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේද කීය.
" පාන්දර එකට විතර ලොකු සද්දයක් ආවා. හිතාගන්න බැරිවුණා මොකද්ද උනේ කියලා. පස්සේ අපි එලියට ඇවිල්ල බැලුවා. ළිඳ තියෙන්නෙ ගෙදරට ලගින්මයි. ළිද පේන්න තිබුණෙ නෑ. පස්සේ තව ටිකක් ලං වෙලා බැලුවම තමයි දැක්කෙ ළිඳ ඇතුළට ගිලා බැහැලා කියලා.
සම්පූර්ණයෙන් ගඩොලින් බැඳලා තිබුණේ. අඩි හයක් විතර උඩටත් බැඳල තිබුණා. දැන් ඒ මොකුත් පේන්න නෑ ඔක්කොම ගිලා බැහැලා. ළිද ඇතුලේ මුකුත් පේන්නේ නෑ වතුර විතරයි දැන් පේන්නේ. අඩුම තරමේ ගඩොල් කැටයක් වත් දකින්න නෑ. මේ විදිහට අපට ගෙදර ඉන්නත් බයයි. මොකද ගෙදර අයිනේම තමයි ළිද තිබුණේ. මේ සම්බන්ධයෙන් මම පොලිසියට පැමිණිලි කරා. කවුරුහරි වගකිවයතු නිලධාරීන් ඇවිල්ලා මේ ගැන පරීක්ෂණයක් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා"
කහටගස්දිගිලිය පැතුම් දර්ශන