ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සාකච්ඡා සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කැඳවනු ලබන්නේ වර්ගවාදී පදනම මතද යන්න ප්‍රශ්න කරන බව ස්වාධීන කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා පැවසීය.
උතුරු - නැගෙනහිර පළාත් වල දෙමළ ජනතාව මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් කැඳවූ සාකච්ඡාවට සිංහල මන්ත්‍රීවරුන් සහභාගී නොකර ගැනීම පිළිබඳ අද (14දා) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.
"පසුගිය සති පුරාවටම දෙමළ ජාතික සන්ධානය, විශේෂයෙන්ම එහි සුමන්තිරන් මන්ත්‍රීතුමා ඉතාමත්ම වර්ගවාදී, පැසිස්ට්වාදී ආකාරයට අපේ රටේ දේශපාලනයට මැදිහත් වන ආකාරය. අපි නම් දකින්නේ මේක ත්‍රස්ථවාදය පරාජය කරලා එක රටක, එක ජාතියක් ලෙස එකමුතුකම ගොඩනගා ගන්න තිබෙන අවස්ථාවක ඒ පිළිබඳ ක්‍රෝධයෙන් පෙලෙමින් මේ ජාතික සමගි බිඳ දැමීම සඳහා කරන භයානක මැදිහත්වීමක් ලෙස හැටියට.
එතුමාම ප්‍රකාශයක් කළ පසුගිය බදාදා ජනාධිපති ලේකම් කාර්යාලය අසලදී ජනාධිපතිතුමා බ්‍රහස්පතින්දා උතුරු පළාතේ මන්ත්‍රීවරුනුත්, සිකුරාදා නැගෙනහිර පළාතේ මන්ත්‍රීවරුන්වත් සාකච්ඡා සඳහා කැඳවලා තිබුණා ඒ පළාත් වලට අදාලව ගැටලු සාකච්ඡා කරන්න. එහිදී දෙමළ ජාතික සන්ධානය ලෙස ජනාධිපතිතුමාට දැනුම් දුන්නා කියලා කියනවා උතුරු හා නැගෙනහිර මන්ත්‍රීවරු එකට කැඳවීමකින් තොරව ඔවුන් සාකච්ඡා වලට සහභාගී වෙන්නේ නෑ කියලා.
මේ ගැන අපි සොයලා බැලුවම අපිට දැනගන්න ලැබුනේ නැගෙනහිර පළාත නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පත්ව සිටිනවා කපිල අතුකොරල කියලා. එතුමා තමයි දිස්ත්‍රික් සංවර්ධ කමිටුවේත් සභාපති. එතුමා කිව්වා අපි ඇහුවම ඔහුට එවැනි කැඳවීමක් සිදු කරලා නෑ කියලා. ඒ වගේම නැගෙනහිර පළාතේ විමලවීර දිසානායක මන්ත්‍රීතුමා. එතුමා එවැනි සාකච්ඡාවක් පැවැත්වෙන බවට දන්නේ නැති බව අපි කළ විමසීමේදී ප්‍රකාශය කළා. ඒ නිසා අපි ජනාධිපතිතුමාගෙන් සහ රජයෙන් අහන්න කැමතියි මේ සාකච්ඡා සඳහා කැඳවීම් ලැබෙන්නෙත් වර්ගවාදී පදනම මතද කියලා."