නිළ ඇදුම් අන්දවා නොමැති බැවින් සහ හමුදා ගෞරවාචාර නොමැති බැවින් පවුලේ සාමාජිකයින් භාරගත නොහැකි බව දන්වා හරවා එවූ ගුවන් හමුදා සෙබළාගේ මෘතදේහය පෙරේදා (02) රාත්‍රි ඥාතීන් විසින් භාරගත් බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා පැවැසීය.
පවුලේ සාමාජිකයින් දේහය භාරගැනීම ප්‍රතික්ෂේප කල බැවින් නීතිඥයකු මාර්ගයෙන් මෝසමක් ඉදිරිපත් කොට අධිකරණ නියෝගයක් ලබාගෙන රජයේ වියදමින් අවසන් කටයුතු කිරිම සූදානම් කරමින් සිටියදී මෙසේ ඥාතීන් දේහය භාරගත් බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශයක වරයා වැඩිදුරටත් පැවසීය .
ගුවන් හමුදා වෑන් රථයක් ඉකුත් 31 දා අළුයම 1.33 ට පමණ කළුතර දී දුම්රියක ගැටී සිදුවූ අනතුරෙන් වැල්ලවාය, කොටවෙහෙරගල ප්‍රදේශයේ පදිංචිව සිටී වීරවීල කදවුරේ නායක ගුවන් භඨ යූ.ජී.සුගත් හර්ෂක ගමගේ යන සෙබළා මියගොස් සිටී අතර, රාජකාරියට පටහැනිව ක්‍රියාකිරීම හේතුවෙන් ඔහුට හමුදා ගෞරව හිමිනොවන බව දැනගැනීමත් සමග දේහය භාරගැනීම ඥාතීන් ප්‍රතික්ෂේප කර තිබුණි.
එබැවින් සිවිල් ඇදුම් අන්දවා කළුතර සිට වැල්ලවායට රැගෙන ගිය දේහය නැවත පසුගිය 2 දා කළුතරට රැගෙන ඒමට ගුවන් හමුදාවට සිදුවිය.
ගුවන් හමුදාව කළුතර උතුර පොලිසියට පැමිණිලි කර නීතිඥයකු මාර්ගයෙන් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කොට දේහය රජයේ වියදමින් අවසන් කටයුතු සිදුකිරිමට කටයුතු කරමින් සිටින අතරතුර, පවුලේ සාමාජිකයින් දේහය භාරගැනීමට කැමැත්ත පල කර ඇත.
පවුලේ සාමාජිකයින් පෙරේදා රාත්‍රි පැමිණි වෑන් රථයකින් දේහය රැගෙන යන ලදී .