ගුරු සීමිත විභාගයට 2023.2.10ට පසු උපාධිය ගත් අයටත් අවස්ථාව දෙන්න අවධානය
2026 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ගුරු සේවයට උපාධිධාරීන් බඳවා ගැනීමේ සීමිත තරඟ විභාගය සඳහා 2023.02.10 දිනෙන් පසු උපාධි සහතිකය ලබාගත් උපාධිධාරීන්ටත් අවස්ථාව ලබාදීමේ හැකියාව සම්බන්ධයෙන් අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අවධානය යොමු විය.
මේ පිළිබඳව කරුණු සාකච්ඡා වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතාගේ සභාපතිත්වයෙන් අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව 2026.02.20 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
මෙදින කාරක සභාව ආරම්භ කරමින් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකා ගුරු සේවයට උපාධිධාරීන් බඳවා ගැනීමේ සීමිත තරඟ විභාගය සඳහා සහභාගීවීම සම්බන්ධයෙන් රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් පිරිසකට මහුණදීමට සිදුවී ඇති ගැටලුවක් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඔවුන්ගේ ඉල්ලීමකට අනුව කාරක සභාව රැස්වූ බවයි.
මේ අනුව පැමිණි උපාධිධාරීන් පෙන්වා දුන්නේ තම කණ්ඩායම වසර 10කට වැඩි කාලයක සිට රාජ්‍ය සේවයේ නියුතු වුවද මෙම සීමිත තරඟ විභාගයට සහභාගී වීමට හැකියාව ලැබෙන්නේ 2023.02.10 දිනට පෙර උපාධිය සම්පූර්ණ කළ උපාධීධාරීන්ට පමණක් බැවින් 150ක පමණ පිරිසකට සීමිත තරඟ විභාගය සඳහා සහභාගීවීමට නොහැකි වී ඇති බවයි.
මෙම කණ්ඩායම විවෘත තරඟ විභාගය සඳහා පවතින වයස් සීමාවද ඉක්මවා ඇති බැවින් මේ වන විට රාජ්‍ය සේවයේ සිටින තනතුරෙන්ම විශ්‍රාම ගැනීමට සිදුව ඇති බවද එම පිරිස විසින් කාරක සභාවට පෙන්වා දෙනලදී. විශේෂයෙන්ම කොරෝනා ව්‍යසන තත්ත්වය පැවති කාලසීමාව ආශ්‍රිතව ඇතිවූ ප්‍රමාදයන්ද තම උපාධි සහතික ලැබීමේ ප්‍රමාදයට හේතු වූ බැවින් මේ පිළිබඳ සලකා බලා 2023.02.10 දිනෙන් පසු උපාධි සහතිකය ලබාගත් උපාධිධාරීන්ටද මෙම විභාගය සඳහා පෙනී සිටීමට අවස්ථාව ලබාදීමට අවශ්‍ය පියවර සලසා දෙන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ.
ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද සභාපතිගේ අවසරය ඇතිව කාරක සභාවට සහභාගී වූ අතර පැමිණ සිටි නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ 2023.02.10 දිනය දීර්ඝ කිරීම පිළිබඳ සලකා බලන ලෙසයි.
මෙහිදී අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් පෙන්වා දුන්නේ නීති උපදෙස් අනුව ගැසට් නිවේදනයේ පළ කර ඇති ක්‍රමවේදය අනුව තමන්ට කටයුතු කිරීමට සිදු වන බවයි.
මේ සම්න්ධයෙන් දීර්ඝව සාකච්ඡා කිරීමෙන් අනතුරුව කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දුන්නේ මේ අවස්ථාවේදී මෙම උපාධිධාරීන් බඳවා නොගතහොත් නැවත බඳවාගැනීමකදී ඔවුන්ගේ වයස සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇති විය හැකි බැවින් අයදුම් කිරීමේ ක්‍රියාවලියට බාධාවක් නොවන අයුරින් උපාධිය වලංගු දිනය දීර්ඝ කිරීම පිළිබඳ සලකා බලන ලෙස කාරක සභාව අධ්‍යාපන අමාත්යවරියගෙනුත් ඉල්ලීමක් කරන බවයි.
මීට අමතරව 2026.02. 17 දිනද අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතාගේ සභාපතිත්වයෙන් රැස් වූ අතර එහිදී සබරගමුව විශ්වවිද්‍යාලයේ 2022, 2023 වර්ෂවල, ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ 2022, 2023 වර්ෂවල, සහ වයඹ ව්ශ්වවිද්‍යාලයේ 2022, 2023 වර්ෂවල වාර්ෂික වාර්තා සලකා බලා අනුමත කරන ලදී.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
