ගුණාත්මක දේශීය නිෂ්පාදන සමුපකාර වෙළඳසැල් 3,500ක් හරහා ජනතාවට
ශ්‍රී ලංකා පාරිභෝගික සමුපකාර සමිති සංගමය (COOPFED) දේශීය කර්මාන්තකරුවන් ශක්තිමත් කරමින් සහ පාරිභෝගිකයන්ට සහනදායී මිලකට ගුණාත්මක භාණ්ඩ සැපයීමේ අරමුණින් ලංකා සීනි සමාගම සහ BCC ලංකා සමාගම සමඟ අවබෝධතා ගිවිසුම් දෙකකට ඊයේ (01) අත්සන් තැබීය.
මෙම වැඩසටහන යටතේ ගුණාත්මක දේශීය නිෂ්පාදන දිවයින පුරා පිහිටි සමුපකාර වෙළඳසැල් 3,500ක් හරහා ජනතාව වෙත ලබාදීමට නියමිතය.
ගිවිසුම් අනුව මසකට දුඹුරු සීනි ටොන් 1,000ක් සහ BCC ලංකා සමාගමෙන් ඇසුරුම් කරන ලද පොල්තෙල් ලීටර් 20,000ක් මෙන්ම සබන් ඇතුළු අනෙකුත් නිෂ්පාදන සමුපකාර ජාලය වෙත ලබාගැනීමට නියමිත අතර, පාරිභෝගික සමුපකාර සමිති 75ක ජාලය ඔස්සේ ඒවා ප්‍රාදේශීය සමුපකාර වෙළඳසැල් වෙත බෙදාහැරීමට සැලසුම් කර ඇත.
අතරමැදියන්ගේ මැදිහත්වීම අවම කර වෙළඳපොළේ මිල ස්ථාවර කිරීම සහ ගුණාත්මක භාණ්ඩ සාධාරණ මිලකට ජනතාව වෙත ලබාදීම මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණ බව මෙහිදී සඳහන් කෙරිණි. එමෙන්ම 2029 වසර වන විට සමුපකාර වෙළඳසැල් සංඛ්‍යාව 3,500 සිට 10,000 දක්වා ඉහළ නැංවීමේ ඉලක්කයක් ද සංගමය අපේක්ෂා කරයි.
මෙහිදී අදහස් දැක්වූ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා සඳහන් කළේ නිෂ්පාදකයාගේ සහ පාරිභෝගිකයාගේ කේවල් කිරීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා සමුපකාර ව්‍යාපාරය වැදගත් කාර්යභාරයක් ඉටු කරන බවයි. සමුපකාර ශාඛා ජාලය තවදුරටත් ව්‍යාප්ත කර ශක්තිමත් සමුපකාර පද්ධතියක් ගොඩනැගීමට රජය සැලසුම් කර ඇති බවත්, සමුපකාර බැංකු පද්ධතිය ශක්තිමත් කිරීම තුළින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සිය නිෂ්පාදන සඳහා පුළුල් වෙළඳපොළක් හිමිකර දීමට අපේක්ෂා කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
