පාසල් සිසුන් කීප දෙනෙකුට අමානුෂික ලෙස පහර දී කෲරත්වයට පත් කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කළ බණ්ඩාරගම ගුංගමුව කණිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිනියගේ රාජකාරි නිල වැඩ බන්ධනාගාර ගතව සිටින කාලය තුළ තහනමට ලක් කරන බව බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක ශ්‍රීලාල් නෝනිස් මහතා පැවසීය.
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත පසුගිය දෙවැනි දින ලද පැමිණිල්ලක් අනුව විදුහල්පතිනිය ළමා ආරක්ෂක අධිකාරිය වෙත පෙරේදා 8 කැඳවා ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි
පන්ති කාමරය තුලදී පාසල් ගුරුවරියකගේ මුදල් පසුම්බිය සොරාගත් බව කියන සිද්ධියක් මුල් කරගෙන පහ වසර පන්තියේ ඉගෙනුම ලබන සිසුන් නවදෙනෙකු වරින් වර පුස්තකාලය වෙත ගෙන ගොස් දණගස්වා දෙපාවලට වේ වැල් වලින් හා ලී පතුරු වලින් පහර දී ඇති බවත් පසුව සැකකාර විදුහල්පතිනිය මිල්ලනිය පොලිසියේ ස්ථානාධිපතිවරයාට දුරකථන ඇමතුමක් ලබාදී පොලිස් නිලධාරීන් තුන්දෙනෙකු පාසලට කැඳවා ඇති බවත් ජාතික ළමා රක්ෂණ අධිකාරිය අධිකරණයට කරුණු දක්වමින් පවසා තිබිණි.
පසුව පොලිස් නිලධාරීන් තිදෙනෙකු පාසල වෙත ජීප් රථයකින් පැමිණීමෙන් අනතුරුව සිසුන් දෙදෙනකු පොලිස් නිලධාරීන්ට භාර දී ඇති බවත් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරීන් අධිකරණය හමුවේ වැඩිදුරටත් කරුණු දක්වමින් පවසා තිබිණි.