සමාජය සාරධර්ම අතින් බිද වැටී ඇති බවත් ගෝඨාභය රාජපක්ෂ මහතාටත් අවාසනාවකට එයට සාර්ථක විසදුමක් ලබාදීමට නොහැකිවූ බවත් බව පාර්ලිමේන්තු මන්තී නාමල් රාජපක්ෂ මහතා අද (28දා) කොස්ගොඩදී කීවේය.
එහිදී තවදුරටත් කතා කළ නාමල් රාජපක්ෂ මහතා මෙසේද කීවේය. “මහින්ද මහත්තයා අපේ හාමුදුරුවනේ කියන කතාව හෑල්ලුවකට ලක් කළා. කාටුන් ඇන්දා. හාමුදුරුවන්ට වදින එක හෑල්ලුවකට ලක් කළා. සමාජයක් බිද වැටීමටයි සමාජ මාධය ජාලා මේ විදිහට කළේ. මහින්ද රාජපක්ෂ මහත්තයාට ගහන්න නෙමෙයි.
අද සමාජය බිද වැටිලා. ආර්ථිකයක් වැටුණොත් ආර්ථිකය හදන්න පුලුවන්. දේශපාලනයක් බිද වැටුණොත් එයත් නැගිටුවාලීමට පුලුවන්. නමුත් සමාජයක් බිද වැටුණොත් ලෙහෙසියෙන් පහසුවෙන් හදන්න නම් බැහැ. අපි හිතන්න ඕන ඒ පැත්තයි.
අද දරුවෙක් අම්මට තාත්තට වදින එකත් විහිලුවකට ලක් වෙලා. ඒ තරමටම සමාජය බිද වැටිලා. බිද වැටුණු සමාජය ගොඩනැගීමට වැඩපිළිවෙලක් තිබිය යුතුයි. මර්ධනයෙන් එය කරන්න බැහැ. අධයාත්මික වැඩසටහනකිනුයි එය කරන්න පුලුවන්. අවාසනාවකට ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ කාලයෙත් බිද වැටුණු සමාජය හදන්න බැරි වුණා.
ගිනි තියන්න ආපූ කොල්ලන් කෙල්ලන් හිරේ දාලා ගිනි තියපු ගෙවල් හැදෙන්නේ නැහැ. ආණ්ඩුවේ බදු මුදලින් ඒවා හදන එකට අපි කැමති නැහැ. ඒකට දායකවුණු අය නීතිය ඉදිරියට ගෙනැල්ලා ඒ අයගෙන් වන්දි අරගෙන මේ නිවාස හදන්න කියලා අපි ඉල්ලා සිටිනවා”
කරන්දෙණිය එම්.සුසිල් ප්රියන්ත