කොට්ටාව බස් නැවතුම්පළ භූමියේ ගෑස් පෝලිමක රැඳී සිටි පුද්ගලයෙකු හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර සදහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව අද (12දා) ජීවිතක්ෂයට පත්ව ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි .
මෙසේ මියගොස් ඇත්තේ කොට්ටාව , ලියනගොඩ පාර අංක 1015 හි පදිංචි ජයතිස්ස පෙරේරා නමැති (63) හැවිරිදි විදුලි ඉංජිනේරුවරයෙකු බව පොලීසිය කියයි .
මෙම පුද්ගලයා අද උදෑසන කොට්ටාව නගර මධ්‍යයේ පිහිටි ප්‍රධාන බස් නැවතුම්පල භූමියේ සංවිධානය කර තිබූ ලිට්රෝ ගෑස් බෙදාදීමේ ස්ථානයකට තම පුතු සමග ගොස් ඇතැයි පැවසේ .
ඒ සදහා විශාල පිරිසක් පැමිණ පෝලිමේ රැඳී සිට ඇති අතර මියගිය පුද්ගලයා ද මෝටර් රථයකින් එම ස්ථානයට පැමිණ ගෑස් සිලින්ඩරයක් මිළදී ගැනීමේ අපේක්ෂාවෙන් එහි රැඳී සිට ඇති අතර එම අවස්ථාවේදී උදෑසන නවයට පමණ මෙම පුද්ගලයා කිසියම් රෝගී තත්ත්වයකට පත්ව ඇතැයි පැවසේ .
එහිදී රැදී සිටි පිරිස් හා එක්ව අසනීප තත්ත්වයෙන් පසු වූ මෙම පුද්ගලයා ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවරගෙන ඇති බවත් පසුව එහි ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මියගොස් ඇති බවත් පොලිසිය පවසයි .
මිය ගිය පුද්ගලයාගේ මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු චින්තක උදයකුමාර මහතා විසින් හෝමාගම මූලික රෝහලේ හදිසි මරණ පරීක්ෂණ අධිකරණයේ දී සිදුකිරීමට නියමිතය .
මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න