දැඩි උණුසුම්කාරී වාතාවරණයක් යටතේ අද (20) පැවැති පැවැති මෙම රැස්වීමේදී ගාල්ල මහනගර සභාවේ නගරාධිපතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ ඇල්විටිගල ඉහළ ගමගේ සුනිල් මහතා තේරී පත්විය. ඔහු වෘත්තියෙන් ගුරුවරයෙකි.
ඡන්ද 19ක් ලබාගෙන මංගල සභා රැස්විමේ දි සභාපතිවරයා තේරීපත්විය. උප නගරාධිපතිවයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රියන්ත සහබන්දු මහතා නිතරගයෙන් තේරී පත්විය.
ගාල්ල මහනගර සභාවේ මංගල රැස්විම දකුණු පළාත් පළාත් පාලන කොමසාරිස් එරන්දි උමංගා මැන්දිස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ගාල්ල මහනගර සභාවේ සභා රැස්විම් ශාලාවේ දි පැවැත්විණි.
මෙහිදී ගාල්ල මහ නගර සභාවේ නගරාධිපති ධුරයට සමග ජන බලවේගය විසින් නාගරික මන්ත්‍රි මොහමඩ් මවුසුන් මොහමඩ් රෝෂාන් මහතාගෙ නම යෝජනා කරනු ලැබීය. ජාතික ජන බලවේගය විසින් නකරාධිපති ධූර අපේක්ෂකයා ලෙස නාගරික මන්ත්‍රී ඇල්විටිගල ඉහළ ගමගේ සුනිල් මහතාගේ නම යෝජනා කරනු ලැබීය.
ඒ අනුව නගරාධිපතිවරයා තෝරා ගනු ලබන්නේ රහස් ඡන්දයකින්ද විවෘත ඡන්දයකින්ද යන ඡන්ද ක්‍රමය තෝරා ගැනීම සඳහා රහස් ඡන්දයක් පවත්වනු ලැබීය. එම ඡන්ද විමසීමේදී රහස් ඡන්දයක් පැවැත්වීම සඳහා සසහිකයින් 19 දෙනකු ඡන්දය ප්‍රකාශ කරනු ලැබීය. විවෘත ඡන්දයක් පැවැත්වීම සඳහා සභිකයින් 17 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කරනු ලැබීය.
මෙම අවස්තාවේදී සභා ගර්භය තුළ දැඩි උණුසුම්කාරී තත්ත්වයක්ද ඇති විය. රහස් ඡන්දයට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගයේ එක්සත් ජාතික පක්ෂයේ සහ පොදු ජන එක්සත්පෙරමුණේ මන්ත්‍රීවරු 16 දෙනා සභාගැබෙන් පිටව ගියහ, විරෝධය දැක්වූහ. මේ නිසා සභාවට පොලීසියද කැදවන ලදී.
කෙසේ නමුත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභිකයින් තිදෙනා සභා ගර්භය තුළ රැඳී සිටියහ. අනතුරුව දකුණු පළාත් පළාත් පාලන කොමසාරිස්වරිය විසින් සභා රැස්වීම විනාඩි 30කට කල් තබනු ලැබීය. නැවත සභා රැස්වීම ආරම්භ වීමෙන් පසු නගරාධිපතිවරයා තෝරා ගැනීම සඳහා රහස් ඡන්දයක් පවත්වනු ලැබීය. එම ඡන්ද විමසීමේදී ජාතික ජන බලවේගයේ ඇල්විටිගල ඉහළ ගමගේ සුනිල් මහතා ඡන්ද 19ක් ලබාගෙන නගරාධිපති ධුරයට පත්විය. එක් ඡන්දයක් ප්‍රතික්ෂේප විය.
ඉන් පසුව නියෝජ්‍ය නගරාධිපතිවරයා වශයෙන් ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ප්‍රියන්ත සහබන්දු මහතාගේ නම පොහොට්ටුවේ නාගරික මන්ත්‍රී නිහාල් මහාවිතාන මහතා විසින් යෝජනා කළ අතර පොහොට්ටුවේ නාගරික මන්ත්‍රී චම්පිකා හිමාලි මහත්මිය විසින් ස්ථීර කරනු ලැබීය. ඒ අනුව නිතරඟයෙන් ගාල්ල මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති ධුරයට ප්‍රියන්ත සහබන්දු මහතා තේරී පත්විය.
ගාල්ල මහනගර සභාව නගර සභිකයින් 36 දෙනෙකුගෙන් සමන්විත වන අතර මහනගර සභාවේ මංගල රැස්විම සදහා සභිකයින් 36 දෙනාම පැමිණ සිටියහ. මැයි මස 06 වැනිදින පැවති පළාත් පාලන මැතිවරණයේ දි ජාතික ජනබලවේගය විසින් මන්ත්‍රිධුර 17ක් හිමිකරගනු ලැබිය. එහෙත් විපක්ෂයේ පක්ෂවලට හිමිවු මන්ත්‍රිධුර සංඛ්‍යා 19කි. සමගි ජනබලවේගය මන්ත්‍රිධුර 09ක් හිමිකරගෙන තිබූ අතර එජාපය විසින් මන්ත්‍රිධුර 05ක් හිමිකරගෙන තිබුණි. ශ්‍රිලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රිධුර 03ක් ද පොදුජන එක්සත් පෙරමුණ විසින් මන්ත්‍රිධුර 02ක් ද හිමිකර ගන්නා ලදී.
හිනිදුම රවීන්ද්‍ර ශ්‍රීලාල්





