හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ කැස්බෑව මාවිත්තර නිවස ඇතුළු නිවාස තුනකට පහරදී දේපල කොල්ල කා ගිනි තැබූ බව කියන පුද්ගලයන් 24 අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය පවසයි.
එම සැකකරුවන් අතර මන්ත්‍රීවරයාගේ හිටපු සම්බන්ධීකරණ ලේකම් වරයෙකු ගේ ඥාති පුත්‍රයකු ද වන බව පොලිසිය කියයි.
එම නිවාසවලින් කොල්ල කන ලද බව කියන ලැප්ටොප් පරිගණක,පෞරාණික පිත්තල භාණ්ඩ,ගමන් බෑග්, ගෑස් සිලින්ඩර, විදේශීය මත්පැන් බෝතල් ඇතුළු තවත් දේපල රැසක් පොලිසිය භාරයට ගෙන ඇත.
සැකකරුවන් පිරිස පසුගිය 09 වෙනි දින දිවයින පුරා ඇඳිරි නීතිය පනවා තිබූ අවස්ථාවේ දී මහජන උද්ඝෝෂණයක නිරත වී ගාමිණී ලොකුගේ මන්ත්‍රිවරයාගේ නිවෙසට මෙන්ම ,ඔහුගේ සහෝදරයාගේ නිවසට සහ ඥාති නිවසකට ගල් මුල් ප්‍රහාර එල්ල කර වටිනා දේපල කොල්ල කා අනතුරුව ගිනි තබා විනාශ කර තිබිණි.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වා අත්අඩංගුවට ගත් සැකකරුවන් මඩපාත කහපොල ගොරකපිටිය සහ පිළියන්දල අවට පදිංචිකරුවන් බවත් පොලිසිය කියයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් සැකකරුවන් රැසක් අත්අඩංගුවට ගැනීමට නියමිතය.අත්අඩංගුවට ගත් සැකකරුවන් කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් අබේසේකර, පොලිස් අධිකාරි රොහාන් පෙරේරා , සහකාර පොලිස් අධිකාරී චන්දන ගමගේ මහත්තුරුන්ගේ ඍජු අධීක්ෂණය යටතේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා ,පාලන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කුමාර නලවංශ මහත්වරු පරීක්ෂණ පවත්වයි.