මාර්තු මස 12 දිනට යෙදී ඇති ලෝක ග්ලෝකෝමා දිනයට සමගාමීව “ලෝකය දීප්තිමත්ය, ඔබේ පෙනීම සුරකින්න” යන්න තේමා කර ගනිමින් අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය, විෂන් 2020 ව්‍යාපෘතිය සහ ශ්‍රී ලංකා ජාතික අක්ෂි රෝහල සෞඛ්‍ය අමාත්‍යාංශය සමග ඒ්කාබද්ධව මාධ්‍ය සම්මන්ත්‍රණයක් අද (07) කොළඹ ජාතික අක්ෂි රෝහලේ දී පැවැත්විණි.
ග්ලෝකෝමා රෝගී තත්ත්වය නිසා ඇතිවන අන්ධභාවයෙන් ජනතාව ආරක්ෂා කර ගැනීමට දැනුවත්භාවය ලබාදීම අරමුණු කරගනිමින් මෙම සම්මන්ත්‍රණය පැවැත්විණි.
ලෝක ග්ලෝකෝමා දිනයට සමගාමීව මාර්තු මස 12-18 දින දක්වා ජාතික ග්ලෝකෝමා සතියක් ද ප්‍රකාශයට පත් කර ඇති අතර, මෙම සතිය තුල මාධ්‍ය හරහා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන්, වෛද්‍ය ශිෂ්‍යයින් සහ වෛද්‍යවරුන් සදහා පුහුණු වැඩසටහන්, සායන හා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් දීප ව්‍යාප්තව සිදුකිරිමට නියමිතය.
ග්ලෝකෝමාව යනු ශ්‍රී ලංකාවේ පමණක් නොව ලොව පුරා ජනයා සදාකාලික අන්ධභාවයට පත් කරන ප්‍රධානතම රෝගී තත්ත්වයක් වන අතර, එය අන්ධභාවයට බලපාන තුන්වන හේතුවයි. ග්ලෝකෝමාව නිසා අන්ධභාවයට පත් වූ ජනතාව මිලියන 4.5 කි. තවත් මිලියන ගණනක් අල්ප දෘෂ්ඨිකතාවයෙන් පෙළේ.
ග්ලෝකෝමාව මුල් අවස්ථාවේ දී කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන අතර, අක්ෂි ස්නායුවට ස්ථීර හානි සිදුවීම නිසා ක්‍රමයෙන් අන්ධභාවයට පත්වේ. කල් ඇතිව රෝගය හදුනා ගැනීම මගින් පෙනීම ආරක්ෂා කර ගත හැකි වේ. වයස අවුරුදු 40 ට වැඩි පිරිස් වසර 2-3 කට වරක්වත් ග්ලෝකෝමාව සදහා අක්ෂි පරීක්ෂාව සිදුකර ගත යුතුය. ලංකාවේ ද දහස් ගණනක් අන්ධභාවයට පත්ව ඇති අතර, දහස් ගණනක් අල්ප දෘෂ්ඨිකත්වයෙන් පීඩා විදිති.