අනුරාධපුර පොලීසියේ ඇතැම් නිලධාරීන්, නීතිය හරි හැටි ඉටු නොකර පක්ෂග්රාහීව වැඩ කිරීමට විරෝධය පළ කරමින් හා, නිලධාරීන් කීපදෙනෙකු ගේ රාජකාරිය තාවකාලිකව තහනම් කරන ලෙසට බල කරමින්, අඹු සැමි යුවලක් අද (21දා) අනුරාධපුර පොලීසිය ඉදිරිපිට ඇති කොමිසම් කාර්යාලය අසල මාර්ගයේ පිහිටි ‘‘මාර“ ගසකට නැග උපවාසයක නිරත වූහ.
සින්නික්කුලම, මොරගොඩ, ශ්‍රාවස්තිපුර ලිපිනයේ පදිංචි ඩබ්.ජේ.ඒ. විජේරත්න (47) සහ සුධර්මා ශාන්තිලතා නැමති(45) නැමැති අඹුසැමි යුවළක් මෙලෙස උපවාසයක නිරතව සිටියහ.
මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඩබ්ලිව්. ජේ. කේ විජේරත්න මහතා.
"අපි මීට පෙර සත්ත්ව ගොවිපළක් කරගෙන ගියා. ඒ කාලේ අනුරාධපුර පොලීසියේ මහත්තයෙක් නිතර ඇවිත් නොමිලේ මස් ඉල්ලනවා. මම කිසිම කෙනෙකුට ජරාව, පගාව දෙන කෙනෙක් නෙමෙයි, එදා ඒ නිලධාරියාට නොමිලේ මස් දුන්නෙ නැති නිසා මේ වන විට විවිධ සිදුවීම් සම්බන්ධයෙන් මගේ බිරිඳ දරුවන් 80 කට වැඩි වාර ගණනක් අනුරාධපුර පොලීසියට නිකරුනේ කැඳවා රස්තියාදු කර තිබෙනවා.
මේ පිළිබඳව අනුරාධපුර කොට්ඨාසයේ ඉහළ නිලධාරීන්ටද දැනුවත් කර තිබෙනවා කිසිම වැඩක් නැහැ. එදා එස්.අයි කෙනෙක්ව හිටපු මේ නිලධාරියා අද වන විට සී.අයි විදිහට උසස් වීම් ලබලා තියෙනවා. මම ඉල්ලා සිටින්නේ, මේ මගේ පැමිණිලි විභාග කරන තෙක්, එම නිලධාරියා ඇතුළු තුන් දෙනෙකුගේ වැඩ තාවකාලිකව තහනම් කරන ලෙසයි.
පොලිස් ලොක්කන්ට කිව්වට වැඩකුත් නැහැ. එහෙම තියෙද්දි කොස්තාපල් කෙනෙක් මේ ළඟදි සිතාසියක් අරන් ආවා නඩුවක් තියෙනවා පෙනී ඉඳලා නැහැ කියලා. මීට වසර දෙකකට කලින් මම දාපු පැමිණිල්ල විභාගයට වත් ගන්නෙ නැතුව, වසර දෙකකට පසුව අපිව වග උත්තරකාරයින් කරලා සිතාසි එවනවා. බිරිඳයි මායි විතරක් නොවෙයි, ලොකු දරුවො දෙන්නාවත් වග උත්තරකරුවෝ කරලා. මගේ දරුවන් පාසල් පාසලේ කැපී පෙනෙන ශිෂ්‍යයන්, දුව උසස් පෙළ අධ්‍යාපනය හදාරනවා. අනෙක් දරුවා මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිනවා. මේ දරුවන්ගේ අධ්‍යාපනය මුළු මුනින්ම කඩාකප්පල් වෙනවා, පොලිසියේ මේ ක්‍රියා හේතුවෙන්. නීතිය කරන ඉහළ අය අවධානයක් යොමු කරන්නේ නැති නම්, සාධාරණ උත්තරයක් ලබා දෙන්නේ නැති නම්, මේ ගසෙන් බිමට බහින්නේ නැහැ. මැරිලා වැටෙන කම් උපවාසයේ නිරත වනවා.
මේ සම්බන්ධයෙන් අප අනුරාධපුර මූලස්ථාන පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සංජීව මහානාම මහතාගෙන් කළ විමසීමක දී ඒ මහතා ප්‍රකාශ කළේ, මෙම පුද්ගලයා ඉදිරිපත් කල ඇති පැමිණිලි සියල්ල විභාග කර තිබෙනවා. අද දිනයේ මෙසේ ගසකට නැගීමට හේතුව සම්බන්ධයෙන් මා දැනුවත් නැහැ. ගසට නැගීමට පෙර තමන්ට ඇති ගැටලුව සම්බන්ධයෙන් මා දැනුවත් කළා නම් ඒ පිළිබඳව සොයා බලා අසාධාරණයක් වී තිබෙනවා නම් ඒ ගැන සොයා බලන්න තිබුණා යනුවෙනි.
අනුරාධපුර -බි.ජි චතුරංග