රටේ කිරිපිටි හා ගෑස් හිගයක් ඇතිවෙලා තියෙන්නේ ඒවායේ මිල වැඩි කිරීමට රජය ඉඩ නොදුන් නිසා බව වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (7දා) පස්වරුවේදී කීවේය.
අමාත්‍ය ගුණවර්ධන මහතා එසේ කීවේ අද (7දා) ගාල්ල දිස්ත්‍රික්කයේ සතොස අලෙවිසැල්හි නරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.
“කොවිඩ් -19 වසංගතයත් එක්ක මුළු ලෝකයේම සැපයුම් ජාලය අඩපණවෙලා තියෙනවා. ඒක නිසා හැම රටකම ප්‍රවාහන ගාස්තු නැව් ගාස්තු විශාල ලෙස ඉහල ගිහිල්ලා තියෙනවා. කිරිපිටි නිෂ්පාදන සමාගම් විශාල අනුපාතයකින් කිරිපිටි මිල ඉහල දැමීමට පාරිභෝගික කටයුතු අධිකාරියෙන් ඉල්ලලා තියෙනවා.නමුත් අපිට එහෙම අවසර දෙන්න පුළුවන් කමක් නැහැ. කොවිඩ් -19 වසංගතය නිසා ආදායම් මාර්ග ඇහිරිලා තියෙනවා.රස්සාවල් නැතිවෙලා තියෙනවා.
බොහෝ පුද්ගලික අංශ වැටුපෙන් භාගයයි ගෙවන්නේ.එවන් තත්ත්වයක් තුළදී මිළ ඉහල නංවන්න දෙන්න පුළුවන් කමක් නැහැ.දැන් අපි දේශීය කිරිපිටි නිෂ්පාදනය දේශීය දියර කිරිපිටි නිෂ්පාදනය ප්‍රචලිත කිරීමේ රජයේ ප්‍රතිපත්තිමය වැඩසටහන ඉදිරියට යනවා.
ඕන තරම් කිරිපිටි දෙන්න කියලා රුපියල් දෙසීයකින් විතර මිල වැඩි කලොත් වෙළද පොළ කිරිපිටි වලින් පිරෙනවා.ඒක කරන්න දුන්නොත් බොහෝ පීඩාවට පත් ජනතාවට තවත් අසීරුතාවයට පත් වෙනවා.
ගෑස් වෙළද පොළෙත් තත්ත්වය මේකමයි.මොකද රුපියල් හත්සීය පනස් එකකින් ගෑස් සිළින්ඩරයක මිල ඉහල දැමීමට ඉල්ලුම් කළා.ගෑස් සිළින්ඩරයක් රුපියල් හත්සීය පනහකින් මිල ඉහළ දැම්මොත් ගෑස් සමාගම්වලට අලාභයකින් තොරව ලෝක වෙළද පොළේ පවතින මිලට ගෑස් ගෙනැල්ලා අලෙවි කරන්න පුලුවන්.
ලෝක වෙළද පොලේ ඛනිජ තෙල් මිල ගෑස් මිල වැඩිවෙලා තියෙනවා.වැඩි මිලට ගෙනැල්ලා අඩු මිලට වික්කොත් ඒ සමාගම් බංකලොත් වෙනවා. ඉතිං ඒ නිසා එම සමාගමවල ඒ තත්ත්වයට පිළියම් යෙදීම සදහා මුදල් අමාත්‍යාංශයත් රජයේ ගෑස් සමාගමත් ලබන සතියේ යම්කිසි වැඩපිළිවෙලක් යොදනවා.
අනුන්ගේ ලියාපදිංචි නමකට ගෑස් පුරවන්න බැහැ නීතිමය තත්ත්වය යටතේ. රජය හැම ගෑස් සිළින්ඩරයකටම සහනාධාරයක් දෙනවා. ඒ නිසයි ගෑස් සිළින්ඩරයක් පවතින මිලට දෙන්න පුළුවන් වෙලා තියෙන්නේ.රජය ඔය හැම ගෑස් සිළින්ඩරයකටම රුපියල් හයසීයක විතර සහනාධාරයක් දෙනවා”
කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත සහ උඩුගම රවී ලියනගේ